කොමඩ් එකේ ජල කාන්දුව සරලව පිළිසකර කරගන්න

ජූලි 1, 2020

ගෘහණියක් ඉගෙන ගත යුතු වටිනාම මැස්ම අරපිරිමැස්ම කියලා තමයි අපි කවුරුත් දන්නේ. හැබැයි මේ අරපිරිමැස්මෙන් පහසුවෙන්ම අපට පිරිමසාගෙන ගේ දොර වැඩ කටයුතු කරන්න පුළුවන් මැස්ම තමයි ජලය අරපිරිමැස්ම.

ඒ නිසාම තමයි අප ජලය අරපිරිමැස්මෙන් පාවිච්චියේ දී දැනගත යුතු කරුණු ගැන ඔබ සමඟ සාකච්ඡා කරන්නේ. අප පසුගිය සතියේ දී ඔබව දැනුවත් කළේ ජල කරාමයක හැඩය ගැන. අඩුම වශයෙන් ගෙදරක සවිකර තිබෙන ජල කරාමයේ හැඩය අපට ප්‍රයෝජනවත් ව‍න්නේ කොහොමද කියලා දන්න ගෘහණියෝ බොහෝම අඩුයි. ගෘහණියෝ පමණක් නොවෙයි සමහර විට සැමියාට පවා ජල කරාමයක් ගැන මූලික දැනුමක් වත් නෑ. නර්මදා පසුගිය සතියේ දී මුහුණ දුන් සිදුවීම නිසා ඇයට ජලකරාමයක් කැඩුණු අවස්‍ථාවක හදාගන්න උපදෙස් ගන්න වුණේ දුරකතනයෙන්. හැබැයි දුරකතනයෙන්වත් උපදෙස් අරගෙන මෙවැනි කටයුත්තක් කරගන්න අපට ගෙදරක ජලය පාවිච්චි කරන ආකාරය ගැන පුංචි අවබෝධයක්වත් තියෙන්න ඕනේ.

ගෙදරක ජලය අපතේ යන්නේ වැඩිපුරම කුමන උපකරණයෙන් ද කියා සොයා බලන ලද සමීක්ෂණයක දී හෙළි වී තිබෙන්නේ බොහෝ විට ජලය කාන්දු වෙන්න පටන් ගන්නේ වැසිකිළි බඳුන නැති නම් කොමඩ් ‍එකෙන් කියලා.. සාමාන්‍යයෙන් අපේ රටේ වැසිකිළි සඳහා කොමඩ් එකක් භාවිත කිරීමට පෙර පැවතියේ සරල ක්‍රමයක්. එයින් ජලය බොහෝ සෙයින් ඉතිරිය වුණා පමණක් නෙවෙයි නඩත්තුවත් හරිම සරලයි. ඒත් දවසින් දවස සමාජය සංකීර්ණ වෙද්දී සාමාන්‍ය වැසිකිළිය වෙනුවට කොමඩ් එක අනිවාර්යය දෙයක් වුණා. ගෙදරක කොමඩ් එකක් නොතිබුණොත් එය ලොකු අඩුවක් කියලා හිතන තරමට අපේ ගෘහණියන් පත් වුණා. හැබැයි කොමඩ් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ‍බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඒ නිසාම ඉතාම සුළු කාලයකින් කොමඩ් එක කැඩෙනවා. එසේ නැතිනම් ජලය කාන්දු වෙන්න පටන් ගන්නවා. මෙසේ ජලය කාන්දු වෙන්න පටන් ගන්නේ කොමඩ් එකකට සවි කර තිබෙන කොටස් හරියට නඩත්තු නොකිරීම නිසයි.

 

 

උපදෙස් : ජල නළ කාර්මික උපදේශක

(ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය)

අජන්ත කාරියවසම්

 

2020/07/01 තරුණි පුවත්පත බලන්න.