සොබා චමත්කාරය ගෙමිදුලට කැඳවන දිය ඇලි

අගෝස්තු 19, 2020

දෙනෙතට සිසිල කැන්දන හරිත පැහැයෙන් බබළන ගහකොළ, ඒ ගහකොළ පිස හමාඑන සුවදායි මඳනල, දෙපයට මෘදු පහසක් ගෙනෙන සරුසාර තණපලස, සිහින් සරින් ගලා හැලෙන දියදහර මේ සොබා දහමේ අපූර්ව චමත්කාරයයි.

ඒ චමත්කාරය දෑසින් විඳින්නට, දෑතින් අත ගා බලන්නට ඉඩහසර හිමිවන්නේ අප අතරින් මොනතරම් සුළු පිරිසකටද? ඒ වරම් අහිමි බොහොමයක් දෙනා නිවාඩුවක් ලද ඇසිල්ලේ සොබා සොඳුරු ඉසව් සොයා පියඹා යති. තවත් කෙනෙක් ඒ අරුමැසිය තම ගෙමිදුලට සහ ගෙතුළට කැඳවාගන්නට උත්සාහ දරති.

ඔබ මේ දකින්නේ එවැනි අපුරු උත්සාහයක ප්‍රතිඵලයකි.

විශේෂයෙන්ම සොබාදහම් දිනිතියගේ මනරම් නිමැවුමක් වූ ගලා හැලෙන දිය දහරාවන් ගෙමිදුලට සහ ගෘහ අභ්‍යන්තරයට කැඳවා ඇති අන්දම බලන්න. තිර රෙදි ආකාරයට එනම් වෝටර් කර්ටන් ක්‍රමයට සකසා ඇති දියඇලි කිහිපයක්ම මෙහි දැකිය හැකි වේ. දොළ ගල්, තිරිවාන, කළුගල් සේම දිරාගිය දැව කැබලි, සුන්දර මල් පිපෙනා පුංචි පුංචි පැළෑටි, ජලජ ශාක, මත්ස්‍යයන් ආදීන් එකතු කරමින් ඊට ස්වාභාවිකත්වය ලබා දී තිබේ.