ඉවතලන ටයරයෙන් වර්ණවත් හැඩතල මවමු

සැප්තැම්බර් 23, 2020

කාලයක් පාවිච්චි කරලා ඉවතලන බොහොමයක් අබලි ද්‍රව්‍ය අනතුරුව පරිසරයට එකතු වෙනවා කියන එකත් ඇත්තටම ගැටලුවකි. විශේෂයෙන්ම පහසුවෙන් දිරාපත් නොවන පොලිතීන්, ප්ලාස්ටික් වාගේම රබර් ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් පසුව ඉවත් කිරීම වර්තමානයේ දී විසඳුමක් නොමැති ගැටලුවක් බවට පත් වී හමාරයි.

ඒ අතරින් පසුගිය කාලයේ වැඩිදෙනකු මුහුණ දුන් ගැටලුවක් බවට පත්වූයේ භාවිතයෙන් ඉවත් කරනා වාහන ටයර් ඉවතලීමට ස්ථානයක් නොමැතිවීමයි. විශේෂයෙන්ම වාහන ටයරය තරමක විශාලත්වයකින් යුතුවන අතර එය රඳවා තැබීමට වැඩි ඉඩකඩක් අවශ්‍ය වේ. එමෙන්ම වැසි ජලය පහසුවෙන් රැඳෙන නිසා මදුරුවන් බෝවන ස්ථානයක් ලෙසද ටයරය ඉතා ප්‍රසිද්ධය. මේ නිසා පරණ වූ ටයරයක් යනු ඇතැමකුට හිසරදයකි.

නමුත් හිසරදයක් තරමටම කරදරයක් වූ ටයරය යොදාගෙන සැකසූ මේ නිර්මාණ දෙස බලන්න. හරිම පුදුමයි නේද? වාහනයේ භාවිතයෙන් අයින් කළත් තවත් බොහෝ කාලයක් මේ විදිහට පාවිච්චි කළ හැකියි.

ගෘහ අභ්‍යන්තරය සරසන විදුලි පහන්, කුඩා මේස, පුටු ආදියට අමතරව නාන කාමරයට ද ටයරය ප්‍රයෝජනයට ගෙන ඇති අන්දම පුදුමාකාරයි. ඊට අමතරව ගෙමිදුලේ මල් සිටුවීමට මේ ටයර් යොදාගෙන ඇති අන්දමත් අපූරුයි.

ඇස පිනවන වර්ණ ගන්වා විවිධ හැඩතල මවමින් ඔබේ නිවෙසට සහ ගෙමිදුලට ද මෙවැනි නිර්මාණ එකතුකර සොඳුරු පරිසරයක් මවන්න. හැබැයි ගෙමිදුලේ ටයර් රැඳවීමේ දී ජලය රඳා නොසිටින පරිදි සකසා ගන්නටත් අමතක කරන්න එපා.

සටහන - චම්පා වරුසප්පෙරුම

ඡායාරූප - අන්තර්ජාලයෙනි