නිවැරැදි ව කොච්චි වගා කර ඉහළ ආදායමක් ලබමු

ගෙවත්තේ සෞභාග්‍යය
නොවැම්බර් 4, 2020

කටට සැරට කන්නට කැමැති කොයි කාගෙත් සිත් ගත් මිතුරා බවට පත් වී ඇත්තේ කෝච්චිය. මුළුතැන්ගෙය තුළ නැතිවම බැරි රසකාරකයක් වූ කොච්චි වර්ග බොහෝමයකි. ඒ අතරින් ඉහළ ඉල්ලුමක් පවතින වර්ගය 'නයි කොච්චි' ලෙසින් හැඳීන්වේ.

සාමාන්‍යයෙන් නයි කොච්චි වගාකොට මාස තුනේ පමණ සිට අවුරුදු තුනක් දක්වා එක දිගට ආදායම් ලැබිය හැකිය. විශේෂයෙන්ම විදේශ රටවලින් නයි කොච්චි සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර දැනට අපට සැපයිය හැකිව ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. එබැවින් නයි කොච්චි වගාව යනු වඩාත් ලෙහෙසි සහ පහසුවෙන්ම ආදායම් ලබාගත හැකි මාර්ගයකි.

කොච්චි වගාව

නයි කොච්චි වගාවක් ස්ථිර භූමියක පහසුවෙන්ම සිදු කළ හැකි වුවත් වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ බඳුන්ගත වගාවයි. මේ සඳහා අඩියක් පමණ විශ්කම්භය සහිත අඩියක් පමණ උස බඳුන් වඩාත් සුදුසු වේවි. තවානෙන් ලබාගත් පැළ මේ බඳුන්වල සිටුවා ගැනීම සඳහා පහත සඳහන් වගා මාධ්‍යය භාවිතා කරන්න.

වගා මාධ්‍යය

* මතුපිට පස් කොටස් 02 ක්

* වියළි ගොම කුඩු කොටස් ½ ක්

* කොම්පෝස්ට් කොටස් ½ ක්

* වැලි කොටස් ¼ ක්

 

මෙම කොටස් සියල්ල එකට මිශ්‍ර කර වගා මාධ්‍යය සකසා ගන්න.ඔබට කොච්චි පැළ මුල් ඇදගත් පසු පොහොර දැමීම ආරම්භ කළහැකි අතර ඒ සඳහා ඇල්බට් සොලියුෂන් පොහොර භාවිත කරන්න. පැළ කුඩා කාලයේ දී දින හතෙන් හතට එනම් සතිපතා මෙම ඇල්බට් සොලියුෂන් භාවිත කළ හැකියි.

වගා භූමියෙහි බඳුන් අසුරා තැබීම

කොච්චි පැළ සිටවූ බඳුන් පත්ල පොළොව මත එක්වරම ස්පර්ශ වීමට නොතබන්න. ඒ වෙනුවට සිමෙන්ති බ්ලොග් ගල් බිමට තබා ඒ මත පැළ සිටවූ බඳුන් තබන්න. මෙසේ සිමෙන්ති ගල් තැබීමේ දී පේළි අතර අඩි තුනක් සහ බඳුන් අතර අඩි දෙකහමාරක පරතරයක් සිටින සේ පේළි සකස් කරගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ජලය, පොහොර ආදිය දැමීමට වගාව අතරින් එහාමෙහා යාමට පහසු වන ආකාරයෙන් මෙම පැළ සහිත බඳුන් තබා ගත යුතු අතර අධික හිරු එළිය හෝ අධික සෙවණ ඇති ස්ථාන මේ සඳහා තෝරා නොගන්නට වගබලාගන්න.

මෙලෙස සකසා ගත් බඳුන්ගත වගාව ඉතා පිරිසුදුව පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එනම් මෙම බඳුන්වල හටගන්නා වෙනත් වල් පැලෑටි ආදිය ඉවත් කිරීම, බඳුන් පාමුල සහ සිමෙන්ති ගල් අතරේ වෙනත් ශාක වර්ග වැඩීමට ඇති අවස්ථා නැති කිරීම, එම ස්ථානවල සතුන්ගේ නිවහන් ඇති නොවන පරිදි පිරිසුදු කරතැබීම ආදිය මෙහිදී සොයා බැලිය යුතු කරුණු අතර වේ.

පොහොර භාවිතය

වගාවට මාස දෙකක් පමණ ගත වූ පසුව වෙළෙඳපොළෙන් ලබාගත හැකි නිල් කැට සහ දම් කැට සම ප්‍රමාණ මිශ්‍රණයකින් මිලි ග්‍රෑම් 5ක් පමණ සති දෙකෙන් දෙකට යොදන්න.වගාව තරමක් පරණ වූ පසුව මෙම ප්‍රමාණය ඔබට වැඩිකර යෙදිය හැකියි.

රෝග සහ පළිබෝධ හානි

මයිටාවන්ගේ සහ කූඩිත්තන්ගේ හානිය කොච්චි වගාවේ දැකිය හැකි හානියකි. මන්ද ඔවුන් මෙම ශාකවලට වෛරස් රෝග ඇති කරයි.මේ සඳහා නිවෙසේදීම සකසා ගත හැකි කොහොඹ නිස්සාරණය දින හතරකට වරක් යෙදීමෙන් මෙම සතුන්ගේ හානි අවම කරගත හැකිය.

 

උපදෙස් - උද්‍යාන අලංකරණ ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/11/04 තරුණි බලන්න