කිරි කවඩි හිනා වගා කර කුසගින්න නිවා ගනිමු

දෙසැම්බර් 2, 2020

මේ බෝවන රෝග සමයේ වැඩි පිරිසක් ගෙවල්වලටම කොටුවෙලා. බොහෝ නාගරිකයන් මෙන්ම ගමක ජීවත්වන පුද්ගලයකුට වුණත් මේ දිනවල මුහුණ පාන ලොකුම ගැටලුව බවට පත් වන්නේ ආහාර හිඟ පාඩුවයි. ඒ වාගේම ඉදිරියේ දී ආහාර අහේනියක් වේවි යන බියත් වැඩි දෙනකුට තියෙනවා.

නිදහසින් පසු අපි නොරටුන්ට අත පා ණය වෙවී කන්න පුරුදු වෙච්ච ජාතියක්. දැන් ඉතින් ඒ අතීතයට දොස්පවරා ඵලක් නෑ . ලෝකයේ සෑම රටක්ම මේ කොරෝනා ව්‍යසනයත් සමඟම තමුන්ගෙ රටේ ගැටලු රට ඇතුළෙම විසඳාගැනීමට වෑයම් කරමින් සිටින කාල වකවානුවක් තමයි මේ. ඒ නිසාම අපිත් නොරටුන්ට අත නොපා අපේ ගෙවත්තේ වගාව පටන් ගනිමු.

වගාවට නව තාක්ෂණය

වගාවට කෙතරම් ඇලුම් කළද, තමා විසින්ම තම පවුලේ සාමාජිකයන් සඳහා එදිනෙදා අවශ්‍ය ආහාර පාන වගා කරගන්නවා යැයි පැවසුව ද වැඩි දෙනෙකු මුහුණපාන ගැටලු සමූහයකි. එනම් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම, සරු පසක් හෝ පොහොර සපයා ගත නොහැකි වීම, එසේ නොමැති නම් වගාවට අවශ්‍ය බීජ සහ වගා බඳුන් නිසි පරිදි නොමැති වීම වැනි ගැටලු සමූහයකට මෙහිදී මුහුණ පෑමට සිදු වේ.

නමුත් අප ගෙදරට කොටු වී සිටියද සන්නිවේදන ලෝකයේ හුදෙකලා වී නැහැ. පහසුවෙන්ම අන්තර්ජාලය සහ මුහුණු පොත ඔස්සේ අපේ වුවමනාවන් එකිනෙකාට ඉදිරිපත්කර විවිධ විසඳුම් සොයාගත හැකියි. ඒ වාගේම නව තාක්ෂණයන් වගේම අලුත් අලුත් අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා හදා ගත හැකියි. ඉතින් ඒ ඔස්සේ අලුත්ම ගෙවතු වගාවකට සූදානම් වෙන්න බැරි ද ?

ඉඩකඩ නැතිනම් මේ ක්‍රම අත්හදා බලන්න

සාමාන්‍යයෙන් වගාවක් යැයි පැවසූවිට පොළොවෙහි පස පෙරළා පාත්ති සකසා බෝග සිටුවා ගැනීමයි අපේ පුරුදු පිළිවෙත. ඒත් බොහෝ දෙනකු මෙලෙස ගෙවතු වගාවකට සූදානම් වුණත් ඒ සඳහා ඇති ඉඩකඩ සීමිතයි. විශේෂයෙන්ම ගමකට වන්නට නිවෙස වටා තරමක ගෙවත්තක් තිබුණත් නාගරිකයන්ට නම් එවැනි ඉඩක් කඩක් ඇත්තේම නැහැ .

විකල්ප බඳුන්

ඒ සඳහා හොඳම විසඳුම වන්නේ විකල්ප බඳුන් වගාවයි. දිනකට අපේ නිවෙසකින් විවිධාකාරයේ බඳුන් කොපමණ ප්‍රමාණයක් අවට පරිසරයට එකතු කරනවද ? ඇත්තටම එය හිසරදයක් වන තරමටම පරිසර හානියක්. ඉතින් ඉවත් කරන මේ බඳුන් භාවිත කරමින් ගෙමිදුලේ ගහක් වටේට ඇයි වගාවක් පටන් ගන්න අපිට බැරි.

ගෙමිදුලක් නැති තට්ටු නිවාසයක වගේ ජීවත් වන කෙනකුට වුණත් තාප්පයකට එහෙමත් නැතිනම් නිවෙසේ බැල්කනි වැටට මෙවැනි බඳුන් සවි කරගන්න පුළුවනි.

පාත්ති සකසන්න ඉඩක් නැතිනම් බලන්නකෝ මේ වගාව සහමුලින්ම විකල්ප බඳුන් වගාවක්.

ඒ විදිහට බඳුන් සහ පොලිතින් කවර තුළ වාවාගත්තු ගෝවා, සලාද කොළ, මිංචි සහ බඩ ඉරිඟු වගාවක් තමයි මේ ඔබ දකින්නේ.

ඉතින් ඔබටත් මේ වගේ වගාවක් කරන්න ආයේ අමුතුවෙන් ඉඩක් ඕනෙ නැති බව තේරෙනවානෙ.

ඔබටත් ඉඩකඩ තිබෙන ආකාරයට මේ වගේ විකල්ප බඳුන් වගාවක් සකසා ගතහොත් ප්‍රයෝජනය බොහොමයි. වස විසෙන් තොර අපූරු අස්වැන්නක් සමඟ නිවෙසට, ගෙවත්තට මනා අලංකාරයක් ද හිමි වේවි.

කිරි කවඩි හිනා

අතීතයේ අපේ සෑම ගෙවත්තක ම මඤ්ඤොක්කා පඳුරු හත අටක් තිබුණා. එය ආහාර අහේනියටත් හොඳ පිළියමක් ද වුණා.

හැත්තෑ එක හැත්තෑ හය වගා සංග්‍රාම කාලයේ ලංකාවෙ ගොවියන්ට හඳුන්වාදුන්නු "කිරි කවඩි" මඤ්ඤොක්කා මාස තුනහමාරෙන් සාර අල පොකුරක් එක්ක ගලවගන්න පුළුවනි. බුරුල් පසේ කඳු පාත්ති බෙදලා අංශක 45ක හැඩේට ඉන්දපුවාම ආයෙ අමුතු සාත්තුවක් ඕනෙත් නෑ. අස්වනු නෙළාගන්න ඩිංගක් මහන්සි වෙන එක විතරයි .

ඒත් නාගරිකයාට කෝ ඒ සුර සැප? මේ ගෙන්දගම් පොළොවේ පස් වැටි නෑ. පාත්ති හදන්න ඉඩකුත් නැහැ.

ඒත් තම්බාගත්ත මඤ්ඤොක්කා පිඟානෙන් බඩගින්න නිවෙනකොට ඒක ගම්බද ද නාගරික ද කියලා නැහැ.

පොහොර උරයකට බුරුල් පස් පුරවා මේ වගේ කිරි කවඩි දණ්ඩක් දෙකක් හිටවා ගත්තොත් පහසුවෙන් ම නාගරික ගෙවත්තටත් මඤ්ඤොක්කා වගාව ගේන්න පුළුවන් බව දැන් තේරුණා නේද ?

මෙහි තියෙන්නේ පොහොර උරයක පස් පුරවා ඉන්දපු පුරා සතියක් වයස කිරි කවඩි දලු හිනා. ඉතින් ඒ සතුට ඔබේ ගෙවත්තටත් ගෙන එන්න පුළුවන් නම් අපේ රටේ වගා සෞභාග්‍යය උදා නොවේව්ද ?..

 

උපදෙස් - ජනශ්‍රැති

පර්යේෂක සහ ප්‍රවීණ ලේඛක

මහින්ද කුමාර දළුපොත