නව වසරේ කෑම මේසයට සොඳුරු වෙනසක්

දෙසැම්බර් 30, 2020

අපටත් නොදැනීම 2020 වසර ගෙවී ගොසිනි. නව වසරක් උදාවීමට තවත් ඉතිරිව ඇත්තේ දෙදිනක් පමණකි. කොරෝනා වසංගතය සමඟම වැඩි කාලයක් නිවෙසට කොටු වූ අපිට මේ වසරේ නිදහසේ සාප්පු සවාරියක යෙදෙන්නට හෝ උත්සව සමය වෙනුවෙන් විවිධ සොඳුරු දේ එකතු කරගන්නටත් අවස්ථාවක් නොලැබිණි. ඒ නිසාම බොහෝදෙනෙකුගේ මුහුණු මත වෙනදා දකින සතුට, සැනසුම වෙනුවට ලැගුම් ගෙන ඇත්තේ දුකකි. කනගාටුවකි.

 

වෙනත් වර්ෂයන්හි දී මෙන් මෙවර මහා ඉහළින් නත්තල හෝ නව වසරේ උදාව සමරන්නට නොහැකි නමුත්, තමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එකට එකතු වී කුඩාවට හෝ කැවිලි පෙවිලි සකසාගෙන ඔබ ලක ලැහැස්ති වෙනවා නොඅනුමානයි. වෙනදා වාගේ අලුත් අලුත් දේ යොදාගෙන කලඑළියට සැරසිලි නොකෙරුවත් ඔබේ නිර්මාණශීලී අදහස් ප්‍රයෝජනයට අරගෙන නත්තල් ගසක් වගේම නිවෙසේ වෙනත් සැරසිලි සූදානම් කරන්නත් ඇති.

ඉතින් උදාවන අලුත් අවුරුද්දේ පවුලේ සියල්ලන්ම එක්වන කෑම මේසයට නැවුම් වෙනසක් එකතු කරන්න ඔබත් කැමැති ඇති. මේ බලන්න. ඒ සඳහා අලුත් අලුත් දේ යොදාගෙන නැහැ. නිවෙසේ තිබෙන දේවල්ම ප්‍රයෝජනයට ගත හැකියි. විශේෂයෙන්ම ඔබ සතුව ඇති අපූරු වයින් වීදුරු, වීදුරු බඳුන් විවිධ ප්‍රමාණයේ වර්ණවත් ඉටිපන්දම්, බන්දේසි, පාට පාට පබළු, කෘත්‍රීම මල්, ගෙවත්තෙන් නෙළා ගත් ස්වාභාවික මල් සහ කොළ, වියළි දර කෝටු, දොළ ගල්, වර්ණවත් රිබන් වාගේ දේවල් යොදා ගන්න පුළුවනි. අවශ්‍ය වන්නේ ටිකක් නිර්මාණශීලීව සිතීම පමණයි.

ලබන්නා වූ නව වසර වෙනුවෙන් රාත්‍රී කෑම මේසයක් සූදානම් කරනවා නම් මේ ඉටිපන්දම් පත්තු කරලා අපූරු ආලෝකයක් ලබා ගන්නත් පුළුවනි. මොහොතක් සිතන්න. ඉටිපන්දම් එළියෙන් රෑ කෑමවේලක් මොනතරම් සුන්දර අත්දැකීමක් වේවිද ?

 

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි