සිටුවාගත් ඉඟුරු වගාව රැකබලා ගන්නේ මෙහෙමයි

අප්‍රේල් 7, 2021

 

ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ ඉවුම් පිහුම් කලාවේ තවත් එක් රස රහසකි ඉඟුරු. ඔවුහු ආහාර රස ගැන්වීමට නිරන්තරයෙන් ඉඟුරු භාවිත කරන අතර ඒ නිසාම තම ගෙවත්තේ ද ඉඟුරු පඳුරක් වවාගන්නට අමතක නොකරති.

 

ගෙවත්තේ පමණක් නොව බඳුන්ගතව ද සාරවත් ඉඟුරු වගාවක් පවත්වාගෙන ගිය හැකිය. විශේෂයෙන්ම ඉඩකඩ සීමිත නාගරික නිවාස සඳහා පොලිසැක් මලුවල ඉඟුරු වගාව අතිශය සාර්ථකයි. ඉතින් මේ පොලිසැක් මලුවල ඉඟුරු වගා කිරීමේ වාසිය මෙන්ම ඒ සඳහා වගා මිශ්‍රණය සකසා ගැනීම පිළිබඳ ද අප පසුගිය සතියේ කතා කළා ඔබට මතක ඇති.

එබැවින් අද අපි සිටුවාගත් ඉඟුරු වගාව රැකබලා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමු.

පොහොර සැපයීම
 

 

 

සාමාන්‍යයෙන් ඉඟුරු වගාව සඳහා බඳුන් මාධ්‍යය සකසා ගැනීමේ දී කාබනික පොහොර ප්‍රමාණවත්ව යොදනු ලැබේ. එබැවින් අමතර රසායනික පොහොර යෙදීමක් එතරම් අවශ්‍ය නොවේ. අවශ්‍ය බව දැනෙන්නේ නම් මෙහි සඳහන් පරිදි ඉතා කුඩා ප්‍රමාණවලින් යෙදීම ප්‍රමාණවත්ය.

එහිදී මතුපිට පොහොර දෙවරක් යෙදිය යුතු අතර එය බීජ සිටුවා මාසයකින් සහ මාස තුනෙන් යොදන්න. යූරියා ග්‍රෑම් 07 ක් ජලය ලීටරයක දියකර සාදාගත් ද්‍රාවණය දියර පොහොරක් ලෙසින් පත්‍ර තෙමී යන පරිදි යෙදීම සුදුසුය. එසේම මියුරියෙට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 10 ක් ජලය ලීටරයක දියකර එක් මල්ලකට බැගින් යොදන්න.

පොහොර යෙදීමට ප්‍රථම වල් මර්දනය සිදු කිරීම අනිවාර්යය බවත් ඔබ මතක තබා ගත යුතු වේ.

වසුන් යෙදීම
 

 

වසුන් යෙදීම යනු ඉඟුරු වගාවේ අත්‍යවශ්‍ය බෝග නඩත්තු ක්‍රියාකාරකමකි. එනම් පස තුළ ඉඟුරු අල සකස්වීමට අවශ්‍ය අඳුරු පරිසරයක් සකසාදීම මෙහි අරමුණයි. මෙහිදී බීජ අල පැළ කිරීමෙන් පසුව මලුවල ඉහළ මතුපිට අඟල් 2 - 3 ක් පමණ තට්ටුවක් ලෙසින් වසුන් යොදන්න. මේ සඳහා පිදුරු ඉතා සුදුසු අතර පිදුරු සොයා ගත නොහැකිවිට දහයියා හෝ දිරාගිය ලී කුඩු ආදිය යොදා ගන්න.

ජල සැපයුම
 

එසේම කොළ පොහොරක් ලෙස වැටහිර පත්‍ර අඟලක් පමණ උස ස්ථරයක් ලෙස යොදන්න. මේ වැටහිර කොළ මසකට වරක් බැගින් වගාවට මාස 05 ක් ගතවනතුරා යෙදීමෙන් හොඳ අස්වැන්නක් නෙළිය හැකියි. මෙහිදී වසුන් අලුත් කිරීමට පෙර දෙවරක් පමණ අඟල් 02 ක් පමණ උසට අලුතින් පස් හෝ බඳුන් මිශ්‍රණය එකතු කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය.

නඩත්තුව

 

 

 

ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබෙන්නේ නම් බීජ සිටුවා මුල් මාස තුන තුළ දිනපතා ජලය යොදන්න. අනතුරුව මාස පහක් යනතුරා දින දෙකකට වරක් ජලය යෙදීම ප්‍රමාණවත් වේ. ජලය යෙදීමේ දී පොලිසැක් මල්ලෙන් පිටතට ගලායන පරිදි ජලය යෙදීම සුදුසු නොවන්නේ එසේ කිරීමෙන් වගා මිශ්‍රණයට අප යෙදූ පෝෂක කොටස් දියවී ඉවත ගලායන බැවිනි.

වගා බඳුන මත පැළවෙන වෙනත් වල් පැළෑටි අතින් ගලවා දැමීම වරින්වර කිරීමට මතක තබාගන්න. එමෙන්ම වසුන දිරාපත් වී ඇත්නම් ඒ සඳහා අලුතින් වසුන් එකතු කිරීම ද කළ යුතුය.

අස්වනු නෙළීම
 

 

 

ඉඟුරු ගස් වර්ධනය වී උපරිම අවස්ථාවට පත් වනවිට ක්‍රමයෙන් පත්‍ර කහ පැහැ වී ගස් වියළී යාම දැකිය හැකියි. ඒ සඳහා බීජ සිටුවා මාස 8 - 10 ක් අතර කාලයක් ගතවේ. බොහෝවිට මේ වන විට පොලිසැක් මල්ල දිරාපත් වී ඇති බැවින් එය අතින් ඉරා දමා වුවද පහසුවෙන්ම අස්වනු නෙළිය හැකියි. එසේ නොමැති වුවහොත් පිහියක් ආධාරයෙන් මල්ල කපා අත් මුල්ලුවක් භාවිතයෙන් අස්වනු නෙළාගන්න. සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 50 ක පොලිසැක් මල්ලකින් අමු ඉඟුරු කිලෝ ග්‍රෑම් 05 ක් පමණ නෙළා ගත හැකි වේ.



උපදෙස්
අපනයන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
මාධ්‍ය හා සන්නිවේදන අංශයේ
සහකාර අධ්‍යක්ෂ
අරුණ දිසානායක