මල් ලෝකය විචිත්‍රවත් කරන ඕකිඩ් ප්‍රභේද

අප්‍රේල් 7, 2021

 

ඕකිඩ් ආහාර සහ ඖෂධ සඳහා ද භාවිත කරන බව පැවසුවහොත් ඇතැම්විට ඔබ පුදුමයට පත්වෙනවා නොඅනුමානයි. නමුත් ආහාරයකට රස, සුවඳ එක්කරනා වැනිලා සාරය ලබාගන්නේ ‘වැනිලා ප්ලැනිෆෝලියා’ (Vanilla Planifolia) නම් වූ ඕකිඩ් ඵලයෙනි.
 

ගත සිත ඔත්පල කරවනා විඩාව හිරු දුටු පිනි බිඳක් සේ සැණෙකින් දුරු කරවන්නට සොඳුරු මල් කැකුළියකට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මඳ සුළගේ නැළවෙමින්, සැනසෙමින් ඇය පාන රැඟුමන් මන බඳනේය. සිත පිනවන්නේය.

 

මේ නිසාම විවිධාකාරයේ මල් කොමළියන්ගෙන් තම ගෙවත්ත හැඩකාර කරගන්නට අපේ කාන්තාවන් දක්වන්නේ දැඩි රුචිකත්වයකි. ඊට අමතරව තම ගෙතුළ එහෙමත් නැතිනම් ගෘහ අභ්‍යන්තරය සරසන්නට ද කෘත්‍රිම මල් මෙන්ම ස්වාභාවික මල් සහ පැළෑටි එකතු කරගන්නටත් ඔවුහු අමතක නොකරති.

මනරම් වර්ණ සහ හැඩ රටා මවනා මේ මල් ලෝකයේ අග රැජන ඕකිඩ් කුමාරියයි. ඇය සතු අතිශය සොඳුරු හැඩ සහ වර්ණ නිසාම අන් මල් ඉදිරියේ කැපී පෙනෙනා අතර ඕකිඩ් යනු වටිනාකමින් වැඩි තරමක් මිලාධික මල් වර්ගයකි.

මේ නිසාමදෝ බොහෝ කාන්තාවන් තම ගෙවත්ත අලංකාර කරගැනීමට අමතරව අලෙවිය සඳහා ද මල් වවන්නට පෙළඹී ඇති අතර එහිදී ඕකිඩ් වගාව කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වති.

ගෙමිදුල හෝ නිවෙස හැඩ කරන්නට බඳුන්ගත මල් පැළෑටියක් ලෙසින් මේ ඕකිඩ් අලෙවි කළ හැකියි. ඊටත් වඩා වැඩි ආදායමක් හිමිකරගත හැක්කේ කැපූ මල් (Cut Flowers) ලෙසින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමෙනි.

ඕකිඩ් ආහාර සහ ඖෂධ සඳහා ද භාවිත කරන බව පැවසුවහොත් ඇතැම්විට ඔබ පුදුමයට පත්වෙනවා නොඅනුමානයි. නමුත් ආහාරයකට රස, සුවඳ එක්කරනා වැනිලා සාරය ලබාගන්නේ ‘වැනිලා ප්ලැනිෆෝලියා’ (Vanilla Planifolia) නම් වූ ඕකිඩ් ඵලයෙනි.

ඊට අමතරව චීන වෛද්‍ය විද්‍යාවේ දී ‘ගැස්ට්‍රෝඩියා එලාටා’ (Gastrodia elata) ඕකිඩ් ඵලය ඖෂධ සඳහා යොදා ගැනේ.

සොඳුරු මල් බොහොමයක් දැකිය හැකි මේ ඕකිඩ් මල් ලෝකය තුළ ප්‍රභේද විශාල ප්‍රමාණයකි. ඒ අතරින් ප්‍රධාන ගණ (ට්ඥදඥපච) කිහිපයක් සඳහන් කළ හැකිය.

 

* ඇරැක්නිස් (Arachnis)

* ඇස්කොසෙන්ට්‍රම් (Ascocentrum)

* බ්‍රසවෝලා (Brassavola)

* කැට්ලියා (Cattleya)

* ඩෙන්ඩ්‍රෝබියම් (Dendrobium)

* ෆැලනෝප්සිස් (Plalaenopsis)

* බ්‍රැසියා (Brassia)

* සිම්බීඩියම් (Cymbidium)

* මිල්ටෝනියා (Miltonia)

* ඔන්සීඩියම් (oncidium)

* රින්කොස්ටයිලිස් (Rhyncostylis)

* වැන්ඩා (Vanda)

 

ඊට අමතරව ප්‍රභේද දෙකක් දෙමුහුන් කිරීමෙන් (Hybridizing) කිරීමෙන් තවත් අන්තර් ප්‍රභේද (Intergenerics) බිහිකර තිබේ. උදාහරණයක් ලෙස,

වැන්ඩා සහ ඇරැක්නිස් වර්ග දෙක දෙමුහුන් කිරීමෙන් ‘අරැන්ඩා (Aranda) ප්‍රභේදයත්,

වැන්ඩා සහ ඇස්කොසෙන්ට්‍රම් වර්ග දෙමුහුන් කිරීමෙන් ‘ඇස්කොසෙන්ඩා’ (Ascocenda) ප්‍රභේදයත් බිහි කරගෙන තිබේ.

එමෙන්ම එකම ගණයේ ඕකිඩ් දෙමුහුන්කර නව ප්‍රභේද සැකසිය හැකියි. මෙලෙස නව වර්ග බිහිකිරීම ලෝකයේ් නිරන්තරයෙන්ම සිදුකරන අතරතුරේ මෙරට දී ද එම කාර්යය සිදු කරනු දක්නට ලැබේ. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපයකදීම මෙරට දී විශාල නව දෙමුහුන් සංඛ්‍යාවන් සකසාගත් අතර විශේෂ ලක්ෂණ සහිත ඕකිඩ් මල් කිහිපයක්ම ඒ අතර වේ.

 

උපදෙස් - සුමුදු ඕකිඩ්ස් හි ජයන්තිමාලා එදිරිසිංහ