නවීන ක්‍රමයට නිර්මාණ වූ Box Type සරල දෙමහල් නිවෙසක්

වියදම ඉතා අවමයි සැලසුම හරිම සරලයි
ජූලි 28, 2021

නිරතුරුවම වෙසෙන නවාතැන වන්නේ අපගේ නිවෙසයි. මේ නිවෙස වඩාත් සුන්දර ආකර්ෂණීය කර ගැනීම හැම ගෘහණියකගේම සිහිනයකි. එහෙත් මේ සිහිනය මල්ඵල දරන්නට නිසි සැලසුමක් හා කැපවීමක් තිබිය යුතුමය.

ඔබට නිවෙසක් තනාගැනීම කොයි අයුරින් හෝ ඉටුකර ගතහැකිය. එහෙත් එම නිවහන සොඳුරු නිවහනක් කර ගැනීමේ මූලික පියවර තැබීමට තමුන්ට ගැළපෙන සරල නිවෙසක් තනා ගත යුතු වෙයි.

ඒ සඳහා සරලම ක්‍රමය වන්නේ ඔබගේ සිතේ ඇති සැලසුම ගෘහ නිර්මාණ ශිල්පියා සමඟ සාකච්ඡා කිරීමය. එසේ නොමැති නම් අප ඔබට සතිපතා ඉදිරිපත් කරන මෙවැනි සැලසුමක් තෝරාගෙන එය තමුන්ට ගැළපෙන ලෙසින් නිර්මාණය කර ගැනීමයි. එහෙත් බොහෝ විට සිදුවන්නේ නිවාස සැලසුම් නිර්මාණ වන්නේ ගෘහනිර්මාණ ශිල්පියාගේ අදහසට පමණක්ය. එසේ වන්නට ප්‍රධානතම හේතුව වන්නේ ඔබට නිර්මාණය සදහා අදහසක් ඉදිරිපත් කිරීමට සමත් නොවීමය. එසේම ඇතැමුන් නිර්මාණ සැලසුම ගැන වැඩි තැකීමක් නොකර සැලසුම නිර්මාණය කළ පසුව නිවෙස සාදාගෙන යන අතර වෙනස් කරති. මෙය නිවෙසක් තැනීමේදී අසාර්ථකවීමට ප්‍රධාන හේතුවකි.

අප සතිපතා ලබාදෙන මේ නිවාස සැලසුම් එයට ඉතා පහසුවකි. මෙයින් ඔබට නිවෙසක් තැනීමේදී නිවෙසේ විවිධ කොටස් හා අංග ස්ථානගත කරන අයුරු හොඳ අවබෝධයක් ලැබේ. එයින් මුලින්ම ඔබට ඇතිවන ගැටලු රාශියක් නිරාකරණය කර ගැනීමට ද හැකිවනු ඇත.

මෙවර ඔබට තිළිණ කරන නිර්මාණ සැලසුම Box Type දෙමහල් නිවෙසකි. පහත මහලයේ කාමර තුනකි. ඉහළ මහලේ කාමර දෙකකි. පහත මහලේ ඉදිරියෙන්ම ඇත්තේ දිගු වැරැන්ඩාවක් සහිත රථ ගාලකි. ඒ අසලම අමුත්තන් සඳහා කාමරයක් වෙයි. මැද සීමාව විශාල සාලයකි. එම සාලයට යාබදව කෑම කාමරයයි.

මෙහි මුළුතැන්ගෙයට අමතරව wash room දෙකකි. එම දෙකෙන් එකක් නිවෙසේ පිටතින් පිහිටයි. මුළුතැන්ගෙයට යාබදව වූ කුඩා wash room එකේ දොර පිටතට විවෘතවන අයුරින් නිර්මාණය වී තිබේ.

ඉහළ මහල ඉතාම නිදහස් අවකාශයකි. එහි TV ලොබියක් සමඟ කාමර දෙකක් වෙයි. එම කාමර දෙකටම පොදු වූ wash room එකක් පිහිටන අතර ඉදිරියෙන් ඇත්තේ විශාල ටෙරසයකි. එයින් නිවෙසට විශාල ආකර්ෂණීය පෙනුමක් හා ගාම්භීරත්වයක් ලැබී තිබේ. පර්චස් 7 - 8 ක ඉඩමකට පවා ගැළපෙන මෙම සැලසුම ඉතාම අවම මුදලකින් තනා ගැනීමට හැකිය. ඕනෑම පරිසරයකට ද ගැළපෙයි. මෙහි සම්පූර්ණ වර්ග ප්‍රමාණය වර්ග අඩි 1664.8 පමණ වූ මෙම නිවෙසේ විශේෂත්වය වන්නේ නාගරික Box Type දෙමහල් නිවෙසක් ලෙස මෑත කාලයේ බොහෝ සේවාදායකයන්ගේ වැඩි ඉල්ලුමක් ඇති සැලසුමකි.

 

 

උපදෙස් කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක