ඩෙන්ඩ්‍රෝබියම් වගාවට නිසි කලට වේලාවට පොහොර යොදන්න

අගෝස්තු 11, 2021

 

පිපී දිලෙන උඩවැඩියා මල් කුමාරිය කොයිතරම් නම් සොඳුරු ද? හැඩරුව සහිතව ඇය බබළන්නට නම් ඕකිඩ් ශාකය ඉතාමත් සරුසාරව වර්ධනය විය යුතු අතර ඒ සඳහා නිසි කලට වේලාවට ජලය සේම පොහොර ද සැපයිය යුතු වේ.

 

කුඩා ප්‍රමාණයේ දැල් පෝච්චියේ තිබූ ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පැළ මධ්‍යම ප්‍රමාණයේ බඳුන්වලට මාරු කරගන්නා ආකාරය පසුගිය සතියේ අපේ කතාබහට ලක්විය. එසේ සිටුවාගත් උඩවැඩියා පැළ සඳහා සෑම දිනයකදීම උදය වරුවේ ජලය සැපයීම කළ යුතුය.

ඊට අමතරව මෙම පැළවල මනා වර්ධනය සඳහා ක්‍රමානුකූලව පොහොර සැපයීම කළයුතු අතර අද අපි ඒ පිළිබඳ දැනුවත් වෙමු.

 

පොහොර යෙදීම

 

කුඩා ඕකිඩ් පැළ අඟල් 06ක් පමණ වූ මධ්‍යම ප්‍රමාණයේ පෝච්චිවලට මාරු කිරීමෙන් අනතුරුව පළමු මාස හයක කාලය තුළ දින දෙකක් හැර දිනයක දී පොහොර යෙදිය යුතුය. මෙහිදී ග්‍රෝ මෝ 20 : 20 : 20 සහ ග්‍රෝ මෝ 10 : 52 : 10 යන

වර්ග දෙක මාරුවෙන් මාරුවට යොදන්න. ඊට අමතරව ග්‍රෝ මෝ 30 : 10 : 10, සහ මාස්ටර් ක්‍රොප් යෙදිය හැකියි.

වැසි කාලවලදී 30 : 10 : 10, මාස්ටර් ක්‍රොප්, මැක්සිකල් හෝ ඇල්බට් සොලියුෂන් ස්ප්‍රේ කිරීමෙන් වැළකිය යුතු අතර ඉතිරි වර්ග දෙක දින දෙකක් හැර දිනයක් ස්ප්‍රේ කරන්න.

එමෙන්ම සෑම සති දෙකකට වරක් කැප්ටාන් හෝ මැන්කොසෙබ් මාරුවෙන් මාරුවට යොදන්න. මේවා සවස් වරුවේ ස්ප්‍රේ කරන්නට ඔබ මතක තබාගන්න.

 

මාස හයකට පසුව

 

මධ්‍යම ප්‍රමාණයේ පෝච්චිවලට මාරු කළ ඔබේ වගාවට දැන් මාස හයක් ගතවී අවසානයි. මේ වනවිට ඕකිඩ් පැළ හොඳින්

වැඩී මල් හටගන්නා තත්ත්වයට ළඟා වී තිබේ. එම නිසා වගාවට පොහොර යොදන පිළිවෙළ ද වෙනස් කළයුතු වේ. එහිදී

දින දෙකක් හැර දිනයක දී ග්‍රෝ මෝ 06 : 30 : 30 හෝ 13 : 02 : 44 මාරුවෙන් මාරුවට යොදන්න. ඊට අමතරව 20 : 20 : 20 හෝ මාස්ටර් ක්‍රොප් ද මාරුවෙන් මාරුවට යෙදිය යුතුය. එමෙන්ම සති දෙකකට වරක් කැප්ටාන් හෝ මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් සවස් වරුවේ ස්ප්‍රේ කළ යුතුය. ඒවාගේම ඔබ මතක තබාගතයුතු කරුණ වන්නේ වැසි කාලයේ දී මාස්ටර් ක්‍රොප් ස්ප්‍රේ නොකළ යුතු බවයි.

මෙලෙස ක්‍රමානුකූලව පොහොර, ජලය යෙදීමට අමතරව ඔබේ වගාවේ මනා පැවැත්ම උදෙසා විශේෂ කරුණු කිහිපයක්ම බලපානු ලබයි.

 

වගාවේ පිරිසුදුබව

 

සාමාන්‍යයෙන් ඔබේ ඕකිඩ් වගාව නිරෝගීව පවත්වා ගන්නට ස්ථානයේ පිරිසුදුබව අත්‍යවශ්‍ය කාරණාවකි. එබැවින් ඔබේ වගාවේ ඉදීගිය පත්‍ර සහ මල් පරවී ගිය නටු කපා ඉවත් කරන්න. එමෙන්ම රාක්ක මත පතිතව ඇති වියළි සහ කුණු වූ ඕකිඩ් පත්‍රිකා, මල් ආදිය ඉවත් කරන්න. රාක්ක යට වැඩෙනා වල් පැළෑටි ගලවන්න.

 

ජලයේ ගුණාත්මකබව

 

ඔබ වගාව සඳහා භාවිතා කරන ජලය අනුව ද ඕකිඩ් පැළවල වර්ධනය වෙනස් වේ. මේ නිසා ජලයේ ගුණාත්මක තත්ත්වය පරීක්ෂාකර බැලීමට ද අමතක නොකරන්න.

 

දිලීර රෝග

 

තදින් වර්ෂාව පවතින කාල වකවානුවලදී Antrocol (Propineb) දිලීර නාශකය යෙදීම සුදුසුය. මන්ද එමඟින් ඕකිඩ් පත්‍ර කුණුවීම, කරටි සහ කඳන් කුණුවීම වැනි රෝග තත්ත්වයන් වළක්වා ගත හැකියි.

ඕකිඩ් පත්‍ර තරමක් ඝනබවින් යුක්තය. මේ ඝනකමැති පත්‍රවල මැද දාරය පිළිස්සුණු හෝ තිත් වැටුණු ස්වභාවයක් වැනි ලක්ෂණ දැකිය හැකියි. මේවායින් තරමක දුර්ගන්ධයක් ද පැතිරෙනු ඇත. එබැවින් මුවහත් තියුණු පිහියක් හෝ කතුරක් භාවිතයෙන් එම කොටස ඉවත් කිරීමට වගබලාගන්න. අනතුරුව Peronex නැමැති රසායනිකය ස්ප්‍රේ කරන්න.

 

මේ කරුණුවලට අමතරව ඔබේ වගාවට පළිබෝධ හානි ඇතිවීමට ද ඉඩ තිබේ. ඊට කළයුතු පිළියම් මොනවාදැයි අපි ලබන

සතියේ සොයා බලමු.

 

 

උපදෙස් -

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ