අඹු සැමි සතුට රජයන නිදන කාමරයක්

නොවැම්බර් 22, 2018
 
මුළුතැන්ගෙය, නාන කාමරය සේම නිදන කාමරය ද නිවෙසක අත්‍යවශ්‍ය අංගයන්ගෙන් එකකි. දවස පුරාම වෙහෙසවන ගතසිත සැහැල්ලුවට පත් කරමින් සුවදායි නින්දක් ලබා ගතහැකි මේ ස්ථානය සුව පහසුවට සකසා ගැනීම ඉතා වැදගත්.
 
 
මෘදු ඇඳ ඇතිරිලි, සුවපහසු කොට්ට, මෙට්ට සහිත නිදන ඇඳ, අලංකාර තිරරෙදි මේ සියල්ලම ඔබේ නිදන කාමරය අපූරු සොඳුරු ලොවක් කරාවි.
 
ගත සිත සැහැල්ලුවට පත් කරවන මේ නිදන කාමරය ෆෙංෂුයි ශාස්ත්‍රයට අනුව සකසා ගැනීම වඩා වැදගත් වන්නේ එමඟින් ඔබේ ජීවිතයට යහපත උදාකරගතහැකි බැවිනි. විශේෂයෙන්ම නිදියහන නිවැරැදිව තැබීම, විදුලි උපකරණ අඩුවෙන් තබා ගැනීම, රාජකාරීමය ද්‍රව්‍ය එනම් රැකියාවේ කටයුතු සඳහා අවශ්‍යවන දේවල් ආදිය නිදන කාමරයෙන් ඉවත් කළහැකි නම් ඔබට අපූරු නිදන කාමරයක් සකසා ගත හැකි වේ.
 
හැඩය
 
නිදන කාමරයක් සඳහා තෝරාගතහැකි හොඳම හැඩය වන්නේ සෘජුකෝණාස්‍රාකාර හෝ හතරැස් හැඩයයි. ඉංග්‍රීසි හෝඩියේ ඹ් (එල්) හැඩය ගත් නිදන කාමර ගැටලු මතුකරන බව ෆෙංෂුයි ශාස්ත්‍රයේ සඳහන් වේ.
 
නිදන ඇඳ
 
සාමාන්‍යයෙන් යකඩ ඇඳකට වඩා ලීයෙන් නිමාකළ ඇඳක් ඔබේ නිදන ඇඳ ලෙස තෝරා ගතයුතු අතර විවාහක යුවළක් සඳහා තරමක් විශාල තනි ඇඳක් තෝරාගන්න. මන්ද තනි ඇඳවල් දෙකක් එකතුකර ඇඳ සැකසීම හෝ ලොකු තනි ඇඳකට මෙට්ට දෙකක් එකතු කිරීම අසුබය. එමඟින් යුග දිවි ගැටලු ඇතිවිය හැකි අතර කාලයක් ගතවන විට දෙදෙනා වෙන්ව ජීවත්වීමට යොමුවිය හැකියි.
 
ජනේලයක් යටට වන්නට ඇඳ තැබීම ද සුදුසු නොවන්නේ එමඟින් ඔබ දෙදෙනා අතර පවතින සහයෝගය අඩුවන බැවිනි.
 
ගෘහ භාණ්ඩ
 
ඔබේ නිදන කාමරය සුබදායක ආකාරයට සකසා ගැනීම වඩා වැදගත් වන්නේ එමඟින් පවුලේ සියලුමදෙනා අතර සමඟිය ඇති කරවන බැවිනි. විවාහ දිවියේ ප්‍රීතිය රැඳී තිබෙන්නට, නීරෝගි බව රැකගන්නට, සුවදායක නින්දක් ලබාගන්නට නම් නිදන කාමරය වඩාත් නිස්කලංක ස්ථානයක් බවට පත්කර ගත යුතුයි. ඒ සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් තබා අනෙකුත් අනවශ්‍ය දෑ නිදන කාමරයෙන් ඉවත් කළ යුතුයි.
 
නිදන ඇඳට ඉහළින් බිත්තියේ කබඩ් ආදිය සවි කිරීම සුදුසු නොවන්නේ එය බාල්කයක් යට නිදාගැනීමට සමානවන බැවිනි. මන්ද උඩ සිට පහළට ගලා බසිනා අහිතකර ශක්තිය ඊට පහළින් ඇඳේ නිදාගෙන සිටින පුද්ගලයන් වෙත එල්ලවන අතර එමඟින් ඔවුන්ගේ නින්දට බාධා වීම සහ හිසේ කැක්කුම ඇතිවිය හැකි බැවිනි.
 
ඔබේ නිදන ඇඳ බාල්කයක් යට තබන්නට සිදුවුවහොත් බාල්කයේ බටනලා දෙකක් කට තබන පැත්ත පහතට වැටෙන පරිද්දෙන් එල්ලා තබන්න.
 
තබා නොගන්න
 
නිදන කාමරය කලබලකාරී නොවීම සඳහා අවම ගෘහභාණ්ඩ ප්‍රමාණයක් තැබිය යුතු අතර විදුලි උපකරණ තබා ගැනීම ද අවම කරන්න. විශේෂයෙන්ම රූපවාහිනිය වැනි දෑ මේ කාමරය තුළින් ඉවත් කළයුතු අතර කුඩා ඔරලෝසුවක් පමණක් තැබීම ප්‍රමාණවත්ය. ඊට අමතරව ප්‍රබෝධය දනවන සිතුවමක් හෝ ඡායාරූපයක් බිත්තියේ එල්ලන්න. නමුත් ජලය සහිත චිත්‍ර, මාළු ටැංකි ආදිය නොතැබීමට වගබලා ගන්න.
 
ආලෝකය
 
දවස පුරා වෙහෙස වූ ශරීරය නැවත ප්‍රබෝධමත් කරගැනීමට සුව නින්දක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සන්සුන් හැඟීම් වර්ධනය කරන සෞම්‍ය සැනසිලිදායක ආලෝකයක් නිදන කාමරයට තිබිය යුතුයි.
 
එබැවින් කාමරයේ සමබරතාව වෙනස් කළ හැකි ඉතා දීප්තිමත් විදුලි බල්බයක් වෙනුවට සෞම්‍ය එළියක් විහිදුවන බල්බ තෝරාගන්න. විශේෂයෙන්ම රවුම් ආවරණ සහිත විදුලි පහන් ඇඳ අසළ සවි කිරීමෙන් රාත්‍රී කාලයේ දී පොතක් පතක් කියවීම ද පහසු කරවයි.
 
සුවඳ හමන ඉටිපහන් කාමරයට රැගෙන එන්නේ අපූර්වතම හැඟුම් සමුදායකි.
 
රතු පැහැති ඉටිපන්දම් දෙකක් ඔබේ නිදන කාමරයේ නිරිත දිශාවේ මුල්ලට වන්නට දැල්වීමෙන් අඹු සැමියන් අතර ප්‍රේමය, අනුරාගය වඩා වර්ධනය වේවි.
 
ඇඳ රෙදි
 
ඇඳ ඇතිරිලි, කොට්ට උර සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කපු, ලිනන්, සේද ආදියෙන් නිමකළ රෙදියි. අතින් අල්ලනවිට සුවයක් දැනෙන, සෞම්‍ය පැහැති රෙදි මේ සඳහා තෝරා ගතයුතු අතර එමඟින් සුව නින්දක් ඔබට ලබාගත හැකියි.
 
ඔබේ ඇඳ රෙදි සඳහා වර්ණ සහ මෝස්තර තෝරා ගැනීමේ දී නිදන ඇඳ පිහිටා තිබෙන කාමරයේ දිශාවට සරිලන සේ ඒවා යොදා ගන්න.
 
උදාහරණයක් ලෙස ඔබේ ඇඳ නැගෙනහිර දිශාවේ පිහිටා ඇත්නම් කොළ වර්ණය සහිත රෙදි තෝරාගන්න. මෙයට වඩාත් සුදුසු වන්නේ හතරැස් කොටු සහිත මෝස්තරයයි.
 
ඇඳ රෙදි සඳහා ඔබ සැමවිටම මෝස්තර නැති චාම් රෙදි තෝරා ගැනීමට වගබලාගන්න. විශේෂයෙන්ම සුදු පැහැයට හුරු කොට්ට උර, ඇඳ ඇතිරිලි, පොරවන රෙදි ආදිය තෝරා ගන්නේ නම් සැමවිටම නැවුම් ආකර්ෂණීය පෙනුමක් නිදන කාමරය වෙත ළඟා කරවයි.