සිත සනසන දිවි සරසන මල්

ජනවාරි 16, 2019

පෙරදිග මෙන්ම අපරදිග රටවල ජනයා මල්වල ඇති සුවිශේෂී ආකර්ෂණ ශක්තිය හඳුනාගෙන සිටින බැව් රහසක් නොවේ. මල් පැළෑටිවලට නිරන්තරයෙන්ම ආදරය කරන අයට පෙරළා මල් පැළය ආදරය කරන බව පැහැදිලි වන එක් කරුණක් මෙසේය.

“කිව්‍යු” උද්‍යානයේ රෝස මල් පඳුරකට එහි සිටි උයන්පල්ලා දිනපතාම වතුර දමමින්, එකී පැළය අතගාමින් සිටිය අතර එක්තරා දිනයක ඔහුට වතුර දැමීමට නොහැකි විය.

පසුදින වතුර දැමීමට මල් පැළය වෙත ළඟාවෙත්ම එම රෝස මල් පඳුර මැළවී තිබෙනු දුටුවේය. ජලය වත්කරන මොහොතේදී එකී රෝස මල් පැළය ඔහුට පත්‍රවලින් ආචාර කරන බවක් දිස්විය.

මැළවී ගිය ශාක පත්‍ර සහ මල්පෙතිවලට අමුතු ප්‍රාණවත් ගතියක් ක්ෂණිකව ඇතිවීම උයන්පල්ලාට පුදුමයක් විය.

ටික කලක් ගතවූ පසු තවත් දිනයකදී මල් පැළයට සමීප නොවී ඈතින් ගමන් කරත්ම එකී රෝස පැළය එක්වරම මැළවී යන බව ඔහුට පෙනිණ.

මේ කරුණ උද්භිද විද්‍යාඥයකුට පැවසූ විට ඔහු කියා ඇත්තේ තුරුලතාවලට කෙනකු ආදරය කරන්නේ නම් එකී ගස්වැල් ද ඔවුන්ට පෙරළා ආදරය කරන සංකේත ඉඟිවලින් දැක ගැනීමට හැකි බවයි.

ඉවක් බවක් නැතිව ගස්වැල්වලට හානි කරන අයට ඇතිවන ප්‍රතිවිපාක මොනවාද යන්න දැන් ඔබට වැටහෙනු ඇත.

ශ්‍රී ලාංකීය අප මංගල හා අවමංගල කටයුතුවලදී මෙන්ම ආගමික පුද පූජා සඳහා මල් භාවිත කරනු ලබයි. මල්වල ඇති වර්ණය, සුවඳ හා හැඩය මිනිස් සිත සන්සුන් කිරීමට සමත් වේ.

ශෝකජනක අවස්ථාවලදී මෙන්ම මංගල කටයුතුවලදී ද සිතේ සන්සුන් ගතිය තිබිය යුතුමයි.

උදේ සවස මල් දෙස බලා හෝ මල් පූජාකර මේ මල් පරවෙන්නාසේම මගේ ශරීරය ද විනාශ වී යන්නේයැයි සිතීම ආගමික පැතිකඩින් සත්‍යයක් බව පැහැදිලිය.

නමුත් සෑම මොහොතකම ඍණ සිතුවිලිවලින් සිය මනස පුරවාගන්නේ නම් සමහර විට ඉතාම දුබල මනසක් හිමි අයකුට සිය සිරුරට විවිධ ලෙඩ රෝග, ව්‍යාධි ළංකර ගැනීමට මඟක් ද පෑදෙන බැව් මනෝ විද්‍යාත්මකව සිතිය හැක.

උත්සවයක, සාකච්ඡාවක හෝ දේශන පවත්වන විටදී පියකරු මල්වලින් මේසය සරසනු ලබයි.

මල් දකින ඕනෑම අයකුගේ සිත වහා ප්‍රබෝධමත් වේ.

සියලු දුක්කරදර තම හිස මත පටවාගෙන තැවෙන අයකුට නම් මල් දැකීමෙන් වෙනසක් සිදු නොවුණත් එවැනි අයකු මල් උයනකට කැඳවාගෙන ගියහොත් ඒ තැනැත්තා ලබන්නේ අධිකතර මානසික ප්‍රබෝධයකි.

ලස්සන මලකට සිතක් වෙනස් කළ හැකියැයි චීන කියමනක් තිබේ. රෝගියකු ළඟ පියකරු මල් බඳුනක් තැබීම නිසා රෝග නිවාරණය ඉක්මන් වේ. ඒ මනස එක්වරම ප්‍රබෝධමත් වීම නිසාය.

මල් වැවීමට පටන් ගත් අය තම ජීවිතය ඉතා වාසනාවන්ත කරගත් බව ඇත්තකි. මල් වවා සංචාරක හෝටල්වලට අලෙවිකර ධනපතියන් වූ බැව්ද පෙනේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා මැතිසබයට ගියේ කබායේ මලක් පැලඳගෙනය. එකල බොහෝ ඇමැතිවරු සිය යුරෝපීය ඇඳුමේ උඩු කබායේ මලක් පැලඳීමට හුරු පුරුදු වූහ.

ජනාධිපති ජයවර්ධන මහතා සහ එම මැතිනිය රතු රෝස මල් බෙහෙවින් පි‍්‍රයකරන දෙදෙනකු හැටියට එදා ප්‍රචලිත විය.

ප්‍රකට මල් වැවිලිකරුවකු ලෙස ධනපාල මහතා මුල් තැන ගන්නා ලදී.

මානව ඉතිහාසඥයකු වන ආචාර්ය තිලක් ආර් මිරැන්ඩෝ ඔබේසේකර ශී‍්‍රමතා ද කැපී පෙනෙන මල් රුචිකයෙකි.

මලක් නිසා කෙනකුගේ ජීවිතය ආලෝකමත් වූ අවස්ථා අපමණය. මගේ සිත ඇදී ගියේ ඇගේ කොණ්ඩයට ගසා තිබුණ මල්වලට යැයි ලෝපතළ මහා චිත්‍ර ශිල්පියකු වූ ලියනාඩෝ ඩාවින්චි ශූරීන් පවසා ඇත.

2019/01/16 තරුණි බලන්න