නිවෙසේ වාසනාවට පැරණි චීන රහස්

මාර්තු 6, 2019

 

ෆෙංෂුයි... චීන අධිරාජ්‍යයේ භාවිත වෙන සහ චීන ජාතිකයින් ඔවුන්ගේ දියුණුව සඳහා භාවිතා කරන ඇතැම් ක්‍රියාකාරකම් මේ නමින් හඳුන්වන බවයි සැලකෙන්නෙ.

විවිධ අය විවිධ මත දැරුවත්, මේ ශාස්ත්‍රයෙන් හඳුන්වා දෙන ඇතැම් ක්‍රියාකාරකම් නිසා ජීවිතයේ ඉලක්ක කරා ළං වෙන්න පුළුවන් කියන විශ්වාසය අද අපේ රටේ බොහෝ දෙනෙක්ගෙ සිත්වල තහවුරු වී තිබෙනවා.

ෆෙංෂුයි වැඩමුළු එකම නගරයක එකම ස්ථානයක එකම දවසක කිහිපවරක් පැවැත්වුවත් ඒ හැම අවස්ථාවකදීම ඒ ඒ ස්ථාන උතුරන සෙනගකින් පිරී තිබෙන බව අපට පැවසුවේ ආසිරි වනිගරත්න මහතා.

සිය ව්‍යාපාරික කටයුතු නිසා නිලංගනි හේරත් මහත්මිය මෙම ශාස්ත්‍රය ව්‍යාප්ත කිරීම අත්හිටුවා දැමීමත්, ආසිරි වනිගරත්න මහතා ෆෙංෂුයි ශාස්ත්‍රය බිහිවූ චීනයට සහ වෙනත් දියුණු රටවලට වරින් වර ගොස්, කරුණු එක් රැස් කරමින් දියුණුව කරා ළං විය හැකි අනේකවිධ ගුප්ත කරුණු අපේ රටට හඳුන්වා දෙනවා.

මේ ඔහු අපේ 'තරුණී' පුවත්පතට ඒ පිළිබඳව කළ විග්‍රහයකි.

"ෆෙංෂුයි කියල කියන්නෙ චීන අධිරාජයා නොහොත් චීන රජතුමා භාවිත කරපු වාස්තු ශාස්ත්‍රය. ඒක තිබුණේ රහසක් හැටියට. නමුත් එක් දහස් නවසිය හැත්තෑ ගණන්වලදී යුරෝපය මේ ශාස්ත්‍රය ගැන දැනගත්තා.

මොකද යුරෝපීයයන් ඇවිත් තිබුණා හොංකොංවලට. හොංකොං අයිතිවෙලා තිබුණෙ බ්‍රිතාන්‍යයට. එයින් පසුව තමයි මේ ශාස්ත්‍රය මිනිසුන් අතරට ගිහින් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ.

ෆෙංෂුයි ශාස්ත්‍රයේ සමහර රහස් කරන්න අමාරුයි. නමුත් ඉතාම සරල විදියට කරන්න පුළුවන් රහස් ද තියෙනවා. මම කැමැතියි මේ පුවත්පතින් අර සරල රහස් ටිකක් ඔබට කියල දෙන්න. ඒවා අපිටම කරගන්න පුළුවන් රහස් ක්‍රම.

මම අද ඔබට ඉන් කිහිපයක් කියලා දෙන්නම්. ඔබත් ඔබේ නිවෙසට මේ ෆෙංෂුයි රහස් ක්‍රම අත්හදා බලන්න. ඒවායින් ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බව ඔබම අත්විඳින්න.

ගෙදරින් පටන් ගනිමු

ෆෙංෂුයිවලින් මුලින්ම කියල දෙන දේ තමයි තමන්ගෙ ගෙදර පිරිසුදුකරගන්න එක.

අපිරිසුදු සහ ලට්ට ලොට්ට තියෙන ගෙදරට වාසනාව එන්නෙ නැහැ. සේරටම කලින් ගෙදර කැලි කසල සහ කුණු කන්දල් ඉවත් කරගත යුතුයි. ඒ ගෙවල්වල ඉන්න අය එක තැනම පල් වෙනවා.

ගෘහභාණ්ඩ අඩු, ලට්ට ලොට්ට නැති ගෙදරට වාසනාව ඒම වැඩියි. අඳුරු ගෙදරත් අවාසනාවෙ ලක්ෂණයක්. දොර ජනෙල් ඇරලා ආලෝකය සහ වාතාශ්‍රය හොඳින් නිවෙස ඇතුළට එන්න ඉඩ හරින්න.

ගෙදර වතුර බටවලින් වතුර කාන්දු වෙනවද?

එහෙම නම් ඉතින් සල්ලි ඉතුරු කරන්න බැහැ. මොකද ජලය සහ මුදල් අතර සම්බන්ධයක් තියෙනවා.

සේරටම කලින් එහෙම වතුර කාන්දු වෙන ජල නළ පිළිසකර කරගන්න. ඊට පස්සෙ ඔබටම වැටහේවි නාස්ති වෙලා, හේදිලා යන මුදල් ඔබ අතේ රැඳෙනවා කියලා.

 

තරුණි 2019/03/06 බලන්න.