ජීවිතය එළිය කරගන්න මෙන්න රහස් ටිකක්

අප්‍රේල් 10, 2019

නිවෙසට කරන ෆෙංෂුයි රහස් අතරින් ඉතාම ජනපි‍්‍රය සහ අධික ප්‍රතිචාර ලැබුණු ෆෙංෂුයි රහසක් ලෙස මෙය හැඳින්විය හැකිය. බස්නාහිර දිශාව බලවත්කර ගෙන ධන වාසනාව වැඩිකර ගැනීමේ මෙම ප්‍රබල, ඒත් ඉතා සරල ෆෙංෂුයි ගුරුකම කරන්නේ මෙසේය.

* කුඩා කිරි උතුරවන ප්‍රමාණයේ මැටි මුට්ටියක් හෝ ළමයින් සෙල්ලම් බත් උයන ප්‍රමාණයේ මැටි මුට්ටියක් ගන්න. (මංජුසා දමන හෝ ගෙවල් ආරක්ෂක ද්‍රව්‍ය දමන ඉතා කුඩා මැටි මුට්ටි ගන්න එපා. ඒවා ඉතා කුඩා නිසා)

* එම මැටි මුට්ටියේ පිට පැත්තේ තද රතු පාට තීන්ත ආලේප කරන්න.

* දැන් එම මුට්ටිය මාරු කාසිවලින් පුරවන්න. මුට්ටිය සම්පූර්ණයෙන්ම පිරෙන පරිදි කාසි පුරවන්න. (ඕනෑම වටිනාකමක් තිබන කාසි දැමිය හැකිය. පිටරට කාසි පවා දැමීමට පුළුවන)

* දැන් එම මුට්ටිය නිවෙසේ බස්නාහිර දිශාවේ තබන්න. ඔබේ නිවෙසේ බස්නාහිර දිශාවේ තිබෙන්නේ නාන කාමරයක් නම් සාලයේ මැද මාලිමාව තබා සාලය දිශාවන්වලට බෙදා සාලයේ බස්නාහිර දිශාවේ තබන්න. ඔබගේ ව්‍යාපාරයේ බස්නාහිර දිශාවේ හෝ ඔෆිස් කාමරයේ බස්නාහිර දිශාවේත් මෙම කාසි මුට්ටියක් තැබීම කළ හැකිය.

* මුට්ටිය උඩින් නොවසන්න. විවෘතව තබන්න. බිමින් තබන්න එපා. එය පොළොවේ ස්පර්ශ නොවන පරිදි උඩකින් තැබිය යුතුය. බාල්කයක් යට හෝ මුදුන් ලීය යටින් කාසි මුට්ටිය නොතැබිය යුතුය.

මෙය නිවෙසේ ව්‍යාපාරයේ ධන වාසනාව පැහැදිලිවම වැඩි කරයි.

ජල ෆෙංෂුයි රහස

ගිනිකොණ දිශාවේ ජලය තැබීමෙන් ධන වාසනාව වැඩි කරන ක්‍රමය බොහෝ දෙනා අතර ජනපි‍්‍රය වී ඇත. මාළු ටැංකියක්, පොකුණක් හෝ වතුර බේසමක් ගිනිකොණ දිශාවේ (ගේ ඇතුළේ) තබා මෙම ෆෙංෂුයි උපක්‍රමය සිදුකළ යුතුය. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයකි.

* මාළු ටැංකියක් තබනවා නම් මාළුන්ට හොඳින් සාත්තු කළයුතුය. දිනකට තුන්වරකට වඩා ආහාර දැමිය යුතුය. නැතිනම් ඔබට පවක් එකතුවෙන බව අමතක නොකරන්න.

* මෙහිදී මාළුන්ගේ වර්ණය හෝ මාළුන් සංඛ්‍යාව වැදගත් වන්නේ නැත. අවශ්‍ය වන්නේ ජලය සෙමින් සෙලවීමය. ධන වාසනාව ලැබීමට නම් ජලය සෙමින් සෙලවිය යුතුය. ගප්පි වැනි මිල අඩු, ඇතිකිරීමට පහසු, මාළුන්ගෙන් මෙම කාර්යය හොඳින්ම ඉටුකරගත හැකිය. (මිල අධික මාළුන් ගැනීම අවශ්‍ය නැත.)

ඔබ මාළුන් ඇති කිරීමට අකැමැති නම් මාළු ටැංකිවලට දමන ඔක්සිජන් බටයක් දමා ජලය සෙලවීමට ලක්කරන්න. මදුරු පණුවන් බෝවෙයි කියා සිතෙනවා නම් ලුණු කුඩු දමන්න. නැතිනම් දින කිහිපයකට වරක් ජලය මාරු කරන්න.

* මාළු ටැංකියක්, බේසමක්, මැටි මුට්ටියක් ආදී ඕනෑම විශාල භාජනයක් ජලය දැමීම සඳහා ගත හැකිය. ජලය බාල්දි පහකට වඩා එම බඳුනට දැමිය යුතුය. ජලය සුළු ප්‍රමාණයක් තිබුණාට ගිනිකොණ දිශාවේ වාසනාව වැඩි වන්නේ නැහැ.

* උඩින් වහන්න එපා. භාජනය උඩින් විවෘතව තිබිය යුතුය. මාළුන් පිටතට පනියි කියා සැකයක් තිබෙනවා නම් උඩින් දැලක් තබන්න.

* විදුලි බලයෙන් ක්‍රියාත්මකවන කුඩා අලංකාර දිය ඇලිවලින් වාසනාවක් ලැබෙන්නේ නැත. ඒවායේ දැමිය හැක්කේ ජලය බෝතලයක් වැනි සුළු ප්‍රමාණයකි. නමුත් ධන වාසනාව සඳහා ජලය බාල්දි පහකට වඩා තිබිය යුතු බව අමතක නොකරන්න.

* ජලය සෙමින් සෙලවිය යුතුය. වේගයෙන් සෙලවෙන ජලයෙන් වාසනාව ලැබෙන්නේ නැත. ඔබ ඔක්සිජන් බටයක් සවිකර ජලය සෙලවීමට ලක්කරනවා නම් එහි වේගය ඉතා අඩුවෙන් තබා ගැනීමට සැලකිලිමත් වෙන්න.

මල් බඳුනේ රහස

ලෝහ මල් බඳුනක් ගෙන එය රෙදි කැබැල්ලකින් හොඳින් අතුල්ලා ඔපදමා ගන්න. මෙම මල් බඳුන නිවෙසේ ව්‍යාපාරයේ බස්නාහිර දිශාවේ තබා එයට රතු පාට මල් දෙකක් හෝ තුනක් දමන්න. (ඇත්ත මල් හෝ කෘත්‍රිම මල්) මෙයත් බස්නාහිර දිශාවේ ධන වාසනාව වැඩිකරන ෆෙංෂුයි කෙමකි. ඇත්ත මල් දමා තිබෙනවා නම් ඒවා පරවූ විගස ඉවත් කළ යුතුය. කෘත්‍රිම මල් දමනවා නම් දින කිහිපයකට වරක් ඒවායේ දූවිලි පිහදාන්න. දින කිහිපයකට වරක් ලෝහ මල් බඳුන රෙදි කැබැල්ලකින් අතුල්ලා ඔප දමන්න.

මල් පෝච්චි හතරේ රහස

නිවෙසේ/ ව්‍යාපාරයේ ගිනිකොණ දිශාවේ මල් පෝච්චි හතරක් තැබීමත් ඉතා ශූභ ෆෙංෂුයි නිවෙසට ලබාදෙයි. මෙම පැළ සරුවට වැඩුණු ඒවා විය යුතුය. (පැළයක් මලානික වූවොත් එය ඉවත්කර වෙන පැළයක් ගන්න. දින කිහිපයකට වරක් සූර්යාලෝකය ලැබීමට පැළ එළියේ තබන්න.)

මෙම පැළ කුරු පත්‍ර සහිත නොවිය යුතු අතර කටු නොමැති වීම ද අවශ්‍යය. විශාල පත්‍ර සහිත පැළෑටි වඩා සුදුසුය. මල් හටගැනීම හෝ නොගැනීම වැදගත් නැත. සරුවට වර්ධනය වීම පමණක් වැදගත්ය. ඒවායේ වර්ධනය හොඳින් පවත්වා ගැනීම සඳහා කෘත්‍රිම පොහොරත් දමන්න.ගිනිකොණ දිශාව එන්නේ නිවෙසේ නිදන කාමරයට නම් එම කාමරයේ පවුලේ කවුරුන් හෝ නිදාගන්නවා නම් එම කාමරයේ පැළ තබන්න එපා. (අප නිදාගන්නා කාමරයේ පැළ තැබීම නුසුදුසුයි)

ගිනිකොණ දිශාවේ පාළු කාමරයක්, සාලයක් හෝ කෑම කාමරයක් තිබෙනවා නම් ඔබට පහසුවෙන්ම පැළ හතරක් (මල් පෝච්චි 4ක්) එහි තැබීමට පුළුවන. නමුත් පතොක් හා බොන්සායි පැළ තබන්න එපා. ජලයේ වැවෙන ශාකත්, ජල බඳුනක දමා වර්ධනය කරගත හැකි ශාකත්, ගිනිකොණ දිශාවට අතිශයින්ම ශුභය.

 

2019/04/10 තරුණි බලන්න