පඩිපෙළක් නිවෙසට ආභරණයක් වූ හැටි

මැයි 15, 2019

අලංකාර වූ පඩිපෙළක් නිවෙසකට ආභරණයකි. නිසියාකාර පෙනුම සහ ආකර්ෂණය ලැබෙන විදිහට මේ ආභරණය නිවෙසට පලන්දන්නේ ඉතා අතළොස්සක් විතරයි. පඩිපෙළ ගැන කතා කරන විට ඒ හා සම්බන්ධ වෙන වාස්තු නීති කීපයක් තියෙනවා.

නිවෙස තුළ පඩිපෙළ තිබෙන දිශාව, ස්ථානය, දක්ෂිණාවර්ත භ්‍රමණය යනාදිය මූලික කරුණුයි. මිට අමතරව පඩි සංඛ්‍යාව බැලීමත් පසුකලක දී මීට එකතු වූ දෙයක්.

සාමාන්‍යයෙන් නිවෙසක තරප්පු පෙළක් සඳහා සැලකිය යුතු ඉඩක් පැවතිය යුතුයි.

නිසි සැලසුමක් නොමැතිව පඩිපෙළ දැමීමෙන් නිවෙසට අවලස්සනක් වාගේම නිවෙස තුළ තියෙන ප්‍රයෝජනවත් ඉඩක් අපතේ යාම අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්.

නිවෙසට ඇතුළුවන විට පඩිපෙළ දොරට ඉදිරියෙන් තිබීම යහපත් නොවන අතර දොරෙන් පසෙකට වන්නට පඩිපෙළෙහි යට පැත්ත හෝ පඩිපෙළ යට අඳුරු වුණු කොටස් පෙනීම කිසිසේත් සුබ නැහැ.

මෙම කරුණු ගළපා බලා තරප්පුවකට වැයවන ඉඩකඩ ඉතා සූක්‍ෂමව සහ ප්‍රයෝජනවත් ලෙස පිළියෙල කරගත යුතුයි.

ඉංජිනේරු තාක්ෂණය සමඟ මුසුවූ අලංකාර පඩිපෙළ නිර්මාණ ගැන විවිධ කරුණු කාරණා අද ලිපියෙන් කතා කරමු.

 

ලීයෙන් තැනූ සරල පඩිපෙළ

සම්පූර්ණයෙන්ම ලීයෙන් තැනීම හෝ මතුපිටට ලී සම්බන්ධ කිරීම යනු පඩිපෙළට වාස්තු ආකර්ෂණය වඩාත් ලැබෙන දෙයක්.

වාස්තු දෝෂයන් තිබේ නම් මෙසේ ලී සම්බන්ධ කිරීමෙන් යම් දෝෂ පහ වීමක් ඇති වෙන බව සත්‍යයක් . නමුත් දෙවනුවට නොසිතා මුලදීම දෝෂ නොවන්නට කටයුතු කිරීම වඩාත් යහපත් දෙයක්.

තේක්ක, කුඹුක්, සූරියමාර ආදී දැව මේ සඳහා යොදාගත හැකි අතර ඇතැමුන් රේල් සිල්පර යොදා පඩි සාදන්නේ වෙනත් තැනක නැති නිර්මාණයක් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන්. මේවායේ වරදක් නැහැ.

සිවිල් ඉංජිනේරු,
වාස්තු විද්‍යා විශාරද, ආචාර්ය 
ගයාන් එරමුදුගොඩ

2019/05/15 තරුණි බලන්න