වාස්තු විද්‍යාවෙන් ව්‍යාපාර සඳහා සෙත

ජුනි 12, 2019

කිසියම් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ස්ථානයක් විකුණන්නේ කුමක් හෝ හේතුවක් ඇතිවයි. බොහෝවිට අයිතිකරුගේ හදිසි මුදල් අවශ්‍යතාවකට හෝ විදේශ ගතවීමකට විය හැකියි. ඔබට මෙහිදී සිතිය යුතු කාරණාවක් තිබෙනවා.

ඒක තමයි, ලාභ ලබමින් පවතින සාර්ථක ව්‍යාපාරික ස්ථානයක් වෙනත් බාහිර බලපෑමක් නැතිනම් කවදාවත් විකුණන්න හේතුවක් නැහැ.

ඔබත් මුදල් වියදම් කර මෙවන් ස්ථානයක් මිලදී ගන්නේ දියුණුව ඇතිවී ලාභ ලබන්න. එහෙම නැත්නම් මතු ආයෝජනයක් වෙනුවෙන්. මෙවන් ස්ථානයක් මිලදී ගන්නා ඔබ දැනුවත් විය යුතු කාරණා බොහොමයි.

මිලදී ගන්නා ගොඩනැගිල්ලේ, ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ගැන සොයා බලන්න. ගොඩනැගිලි ආදියේ ඉදිකිරීම් අනුමැතිය ලබා තිබීමත් වැදගත්. පාරිසරිකව බලපාන කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර තිබුණේ නම් ඒවායේ අනුකූලතා සහතික ලබාගෙන තිබිය යුතුයි. කෙටියෙන්ම කියනවා නම් කිසිදු වංචාවක්, සැඟවීමක් නැතිව ඇත්ත ඇති සැටියෙන්ම ඔබ වෙත කීමට අයිතිකරු යොමුවෙන ආකාරය සූක්ෂමව සොයා බලන්න. කලින් තිබූ ව්‍යාපාරික නාමය යම් අපකීර්තියකට පත්ව තිබේද යන්නත්, අවට වාසීන්ගෙන් ආයතනය ගැන තිබෙන ආකල්පත් ඔබට වැදගත්. මේවා නිරවුල් නම් අඩක් ඔබ ජයගෙන තියෙනවා.

ඉතිරි අර්ධය ජයගන්නේ කොහොමද?

අයිතිකරුගේ අදහස් දැක්වීම මත පළපුරුදු වාස්තුවේදියකු ලවා ස්ථානය පරික්ෂා කර ගැනීමත් වැදගත්. ඔබගේ නව ව්‍යාපාරික ස්ථානය සඳහා වාස්තුමය වෙනස්කම් කළ යුතු ආකාරයත් ඒ සඳහා ප්‍රායෝගිකව ඇති හැකියාවත් ඔහුගෙන් දැනගන්න. මේවා ඔබට වැදගත් වෙන්නේ විශාල මුදලක් වියදම් කර අලුත් දේපළක් මිලට ගෙන වාස්තු දෝෂ නිසා උන්හිටි තැනින්බිමට වැටිය යුතු නැති නිසායි.

මිලට ගන්නා ගොඩනැගිල්ල තමාගේ අරමුණ කරා ළඟා වීමට හැකි ආකාරයට පිහිටා තිබේදැයි බලන්න. එහි පවතින වර්ග අඩි ප්‍රමාණය තමාගේ ජන්ම කේන්ද්‍රය හා ගැළපිමත්, නව ව්‍යාපාරය සමග සීහුම් වීමත් අතිශයින්ම වැදගත්.

පෙනුමත් වැදගත්

ව්‍යාපාරයේ මුහුණත පෙනුම කියන්නේ ඉතා වැදගත් දෙයක්. සෘජුකෝණාස්‍රාකාර හෝ සමචතුරස්‍ර මුහුණක් ගොඩනැගිල්ලට තිබෙනවා කියන්නේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළටම යාමට ඔබට ලැබෙන තල්ලුවක්.

කිසිම විටෙකත් ත්‍රිකෝණාකාරව උල්වූ හෝ ජ්‍යාමිතිකව සරල හැඩයක් නොගන්නා සංකීර්ණ මුහුණක් යොදාගන්න එපා.

එය ව්‍යාපාරයේ දිගුකල් පැවැත්මට අහිතකරයි. බාධක රැසක් මැද කෙරීගෙන යන ව්‍යාපාරයක් වෙන්න බැරි නැහැ.

ව්‍යාපාරයක් පාඩු ලබා, බංකොලොත්වී අවසානයේ වසා දමන තත්ත්වයට පත්වීමට ප්‍රධාන කාරණා 2ක් බලපානවා. පළමු දේ තමයි නිසි කළමනාකරණයක්, පරිපාලයක් නොමැති වීම.

ඉතා විශාල පරාසයක් මෙම පළමු කාරණය තුළ ගැබ්වී තිබෙනවා. උදාහරණ ලෙස ආදායම් - වියදම් විශ්ලේෂණ, සේවක පඩි - දිරි දීමනා - සෞඛ්‍ය - ආහාර පාන - සුබසාධක කටයුතු, බිල්පත්, බැංකු කටයුතු, සම්පත් කළමනාකරණය, මුල්‍ය- පිරිස් පාලනය, වෙළෙඳ ප්‍රචාරණය, පාරිභෝගික සම්බන්ධතා, තත්ත්ව පරික්ෂාව ආදී රැසක් මිට අයත්.

මේවායේ කිසිදු ගැටලුවක් දක්නට නොමැතිව දිගින් දිගටම ආයතනික වෙනත් ගැටලු මතුවෙනවා නම් දෙවැනි කාරණයට සිහි යොමු කළ යුතුයි. ඒතමයි වාස්තු විද්‍යාව හා අපට නොපෙනෙන බලවේග.

පිංකම්

ව්‍යාපාරික ස්ථානයේ කිසිම දිනෙක පිංකම් කටයුත්තක් සිදුකර නොමැති නම් වහාම ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. භුමිය සඳහා බහිරව පූජාවක් සිදුකර ආරක්ෂාවක් සැලසීම යහපත් දෙයක්. මියගිය අය වෙනුවෙන් හා ආදී කර්තෘවරුන් වෙනුවෙන් පිං පැමිණවීම කියන්නේ ඔබගේ යුතුකමක්. මෙය වසරක් පාසා හෝ කිරීම ඔබට ලැබෙන ආශීර්වාදයක්. මේවාට අමතරව වාස්තු විද්‍යාව පැත්තෙන් විමසා බලා අඩුපාඩු සපුරා ගැනීමත් වැදගත්.

කළමනාකරණය

ඔබ මිලදී ගන්නා ව්‍යාපාරික ස්ථානයත් කලින් අසාර්ථකවූ එකක් නම් ඉහත සඳහන් කාරණාවන් සමග විශ්ලේෂණය කර බලන්න. පවතින ගොඩනැගිලි කිසිම ජ්‍යාමිතික න්‍යායකට අනුව ඉදිකර නොමැති නම්, විෂම අදහස් - නො ගැළපීම් ඇතිවී පාඩු ලබන තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගොඩනැගිල්ල ශුභ දිශාවකට මුහුණලා ගැළපෙන දිශාවන්වලට දොරටු ස්ථානගත කර තිබීම හොඳයි. කලින් විශාල යන්ත්‍රෝපකරණ ආදිය භාවිතා කළ ව්‍යාපාරයක් නම් හා ඒවා නියමිත ස්ථානවල නොතිබුණේ නම් බලාපොරොත්තු වූ ඉලක්කයන් දෙවනවර වුවද සපුරා ගැනීම තරමක් අසීරුයි.

මේ කාරණාවන් ඔබට යම් විශ්ලේෂණයක් කිරීම සඳහාත්, මිලදී ගන්නා දේපළෙහි නව ව්‍යාපාරික අංශයන් මනාව ස්ථානගත කිරීම ගැන දැනුවත් වීමටත් පිටිවහලක් වේවි.

 

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද, ආචාර්ය

ගයාන් එරමුදුගොඩ

Web :www.vastuhomebuilders.com
Email
:[email protected].

2019/06/12 තරුණි බලන්න