හැඩය, බෑවුම ගැන සලකා ඡ්‍යොතිෂයෙන් සුබ අසුබ තීරණය කරන අයුරු

නොවැම්බර් 27, 2019

ඉඩමක් මිල දී ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. බොහෝ දෙනා සිතන්නේ අතේ මුදල් හදල් තිබෙනවා නම් ඉඩමක් මිල දී ගැනීම පහසු කටයුත්තක් වන බවයි. එහෙත් මොහොතක් හොඳින් විමසා බැලීමේ දී පෙනෙන්නේ ඇතැම් ඉඩම් කොතරම් හොඳ ස්ථානයක පිහිටා තිබුණ ද ඒවායෙහි පදිංචිය හෝ ව්‍යාපාරික ස්ථාන සැකසීම සුදුසු නොවන බවයි.

ඇතැම් ඉඩම් කොතරම් ජනාකීර්ණ ස්ථානයක පිහිටා තිබුණ ද එම ඉඩමේ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථානය දියුණු වන බවක් නොපෙන්වන ආකාරය ඔබත් දැක ඇති. ඇතැම් ව්‍යාපාරික ස්ථාන එතරම් ජනාකීර්ණ ස්ථානයක පිහිටා නොතිබුණ ද ඒවා දිනෙන් දින සාර්ථකත්වයට පත්වේ. ඇතැම් නිවාස ගැන ද ඔබට මේ අත්දැකීම ඇතුවාට සැක නැහැ. මෙහිදී ඉඩමේ ස්වභාව පවා එහි පදිංචි වන්නන්ට බලපෑම් කරන බව ඔබ නොසිතන්නට ඇති.

අද අප ඉදිරිපත් කරන්නේ යම් කාර්යයක් සඳහා ඉඩමක් මිලදී ගැනීමේ දී සොයා බැලිය යුතු කාරණා පිළිබඳවයි.

ඉඩමේ හැඩය, බෑවුම, ආදිය ගැන ඡ්‍යොතිෂ්‍ය ඇසින් බලා ඉඩමක සුබ අසුබ තීරණය කිරීම සිදු කෙරේ. මිල දී ගන්නා ඉඩමක සුබ අසුබතාව බලා එය මිල දී ගැනීම මඟින් ඔබේ යහපත සලසා ගත හැකියි. මේ නිසා ඉඩමක් මිල දී ගැනීමේ දී ඡ්‍යොතිෂ්‍යානුකූලව විමසා බැලිය යුතු මූලික කරුණු පිළිබඳ දැනුවත් වෙමු.

ඉඩමක දෝෂ ගැන සොයා බැලීමේ දී දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන ලෙස දෝෂ දෙකට බෙදිය හැකිය. මෙහිදී භූමි දෝෂ, නැකැත් දෝෂ, නිර්මාණ දෝෂ ලෙස තුනකට බෙදේ. අපි පළමුවෙන් ම භූමි දෝෂ පිළිබඳ කතා කරමු.

පළමුව ඉඩමේ හැඩය පිළිබඳ අපි දැනුවත් බවක් ලබා ගනිමු. ඒ ගැන මුණිවරු පවසා ඇත්තේ මෙලෙසයි. ඔවුන් එහිදී ඉඩම්, හැඩය අනුව වර්ග 16 කට බෙදා ඇත.

  •  ආයත භූමි - මෙම භූමිය චතුරස්‍රාකාර එනම් හතරැස් භූමියකි. සුබ භූමියකි.
  •  චතුරස්‍ර භූමි - සම්මුඛ පාද එකිනෙකට සමාන වූ භූමිය මෙලෙසින් හැඳින් වේ. මෙය ද සුබ භූමියක් ලෙස හැඳින් වේ.
  •  වජ්‍රාසන භූමි - භූමියේ මැද උස්ව ආසනයක් මෙන් වූ හා එය වටේ චතුරස්‍රාකාරව පහළට බෑවුම්ව ඇති භූමියයි. සුබ භූමි ගනයට ගැනෙන මෙම භූමියක වෙසෙන අය ප්‍රසිද්ධියට පත් වන බව කියැවේ.
  •  වෘත්ත භූමි - රවුම් වටකුරු භූමි මේ ගනයට අයත් වේ. සුබ භූමියකි.
  •  චක්‍රාකාර භූමි - මෙය ගැලක රෝදයක් මෙනි. එනම්, කරත්ත රෝදයක් මෙන් වූ භූමියකි. සමතල භූමියක් නොවේ. මෙවැනි භූමියක වෙසෙන්නන් දිලිඳු වන බව කියැවේ. අසුබ භූමි ගනයට වැටේ.
  •  විෂමබාහු - සම්මුඛ පාද එකිනෙකට වෙනස් වූ භූමි විෂමබාහු භූමි වේ. මේ භූමිවල පදිංචි වීමෙන් ශෝකය ගෙනදෙන බව ඡ්‍යොතිෂයෙහි සඳහන් ය. මෙය අසුබ භූමියක් ලෙස සැලකේ.
  •  ත්‍රිකෝණ භූමි - මුළු තුනක් සහිත භූමි මෙලෙසින් හැඳින්වෙයි. ත්‍රිකෝණ භූමියක පදිංචි වීමෙන් රාජ බය ඇතිවන බව පැවසේ.
  •  ශකට භූමි - කරත්තයක් වැනි, ගැලක් වැනි භූමි මෙනමින් හඳුන්වයි. ශකට භූමියක සිටීමෙන් ධන හානි සිදු වේ.
  •  දණ්ඩ භූමි - දණ්ඩක් වැනි එනම් දඬු කඳේ දෙකකුල් දමා තැබීමේ දී එහි හරහට දමන සිල්පර කොටයක් සේ දිස්වන දණ්ඩක් වැනි භූමි ය. මෙම ඉඩම් දිගින් වැඩි හා පළලින් අඩු භූමි වේ. මේ භූමියේ සිව්පා සතුන්ගේ වියෝව සිදු වේ.
  •  අනවස්ථාන භූමි - පනාබෙර මෙන් වූ දෙපසින් සිහින් මැදින් වක්‍රාකාර වූ පාද හතරෙන් පාද දෙකක් කෙටිව පිහිටි භූමි මෙනමින් හැඳින් වේ. මෙහි වෙසෙන්නන්ගේ දෑස් අන්ධ වීමේ ඉඩක් පවතින බව පැවසේ.
  •  මෘජාකාර භූමි - මිහිඟු බෙරය හැඩැති එනම් දෙකොන සිහින් හා මැදින් අතිශයින් පළල් හැඩයේ භූමි ය. අඹුවන්ට, කාන්තාවන්ට ඵල නැති බව සඳහන් ය.

 

උපදෙස් - ප්‍රවීණ වාස්තු හා ඡ්‍යොතිෂ්‍යවේදී

ලක්ෂ්මන් යූ. ලියනගේ

2019/11/27 තරුණි බලන්න