සාර්ථක ප්‍රතිකාර තිබිලත් ඇතැම් රෝග සුව නොවන්න හේතු තිබෙනවා

ජීවිතයට ඡ්‍යොතිෂය
මාර්තු 10, 2021

විශාල ධනයක් යොදා හැදූ මහා මන්දිර පාළුවට යන්නේ ඇයි?

ඡ්‍යොතිෂයේ සම්භවය සොයා යාමේදී, එය වසර දහස් ගණනක අතීතයකට අයත් වන බව පෙනී යනවා. පෙර අපර දෙදිග විද්වතුන්, තාරකා ශාස්ත්‍රඥයන් මෙම විෂයෙහි දක්වා ඇති කරුණු විමසා බැලීමේදී ‘ජීවිතයකට ඡ්‍යොතිෂය කොතරම් වැදගත්ද’ යන කාරණය හඳුනා ගන්නට පුළුවන්.

විද්‍යාව මත පමණක් පිහිටා කටයුතු කරන බොහෝ දෙනා ඡ්‍යොතිෂ්‍යය කියන කාරණාව බොහොම නිර්දය විදිහට විවේචනය කරනු දක්නට ලැබෙනවා. පරීක්ෂණ මත පදනම්ව පවතින නවීන විද්‍යාව උපත ලබන්නට වසර දහස් ගණනකට ඉහතදී පෙරදිග ඉසිවරුන් ස්වකීය දියුණු කළ අධ්‍යාත්මය මෙහෙයවා සක්වළ තරණය කළ බවට අපමණ සාක්ෂි ඉදිරිපත් කළ හැකියි. මේ සඳහා කදිම නිදසුනක් සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රයේ සඳහන් වෙනවා. එයින් කියැවෙන්නේ බුදුහිමියන් සිනේරු පර්වතය මත්තෙහි වැඩ හිඳිමින් සහස්සී සක්වළ ධාතුව නිරීක්ෂණය කළ ආකාරය.

“බුදුරජාණන් වහන්සේ සිනේරු පර්වතය මුදුණේ වැඩ සිටිමින් පෙරදිග කොටසේ පිහිටා තිබූ ලෝක ධාතූන් විමසා බැලූහ. පෙරදිග අහසේ දහස් ගණනක් ග්‍රහ වස්තූන් දර්ශනය විය. එපමණක් නොව උතුරු, දකුණු සහ බටහිර දෙසින් ද පූර්ව දිග්භාගයේ සේම අනන්ත සංඛ්‍යාවක් ලෝක ධාතූන් දක්නට ලැබුණි.”

මේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසයි. එහෙත් නූතන විද්‍යාවේ තාරකා විද්‍යාවේ ආරම්භය ඉන් සියවස් හය හමාරක් පසුව සිදුවී ඇති බව හඳුනාගත හැකියි. ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ ගැලීලියෝ ගැලලි දුරේක්ෂය නිපදවා අභ්‍යවකාශය විමසා බැලුවේ 1609 දීයි. ඡ්‍යොතිෂය යනු ග්‍රහ තාරකා ගමන් මඟ විමසා බැලීමක් සහ ඒවායින් අපට සිදුවන බලපෑම විමසා බැලීමක් මිස අන් කිසිවක් නොවන බව අවධාරණය කළ යුතුයි.

පූර්වාචාරීන් දක්වා ඇති වාස්තු විද්‍යා නියමයන් ද මෙහිදී කිසි ලෙසකින්වත් බැහැර කරන්නට බැහැ. මේ පිළිබද කතිකාවතක යෙදෙන්නට විෂයයන් ද්විත්වය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ටයකු සොයා ගියෙමු. ඔහු ඡ්‍යොතිර් කීර්ති මානව හිතවාදී දේශමාන්‍ය සම්මානවලින් පිදුම් ලැබූ පාරම්පරික ඡ්‍යොතීර්වේදී මාවනැල්ලේ ජානක රත්නායකයන්...

ආයුබෝවන් ජානක මහත්තයා, කාලෙකට පස්සෙ.....

“ආයුබෝවන්, මොකද අද ගෙනාපු ගැටලුව?”

මෙහෙමයි, ඡ්‍යොතිෂය, ඉපැරැණි වාස්තු විද්‍යාව නියමයන් පිළිබද නිර්දය විවේචන වගේම තර්ක විතර්ක අහන්න ලැබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට පිළිතුරු තිබෙනවාද?

“අනිවාර්යෙන්ම තියෙනවා. නිකම්ම නෙවෙයි ඒවා විද්‍යානුකූලයි. මේක බොහොම දීර්ඝ මාතෘකාවක්. විශ්වය අනන්තපරිමාණයි. ඡ්‍යොතිෂය කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ගමන් මඟ විමසීම හැර අන් දෙයක් නොවෙයි. මෙය වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන සුවිශේෂි ශාස්ත්‍රයක්.”

ඡ්‍යොතිෂය කොහොමද ජීවිතයට වැදගත් වෙන්නෙ...

“මට අහන්න තියෙන්නේ වැදගත් නොවන්නෙ මොනවටද කියලයි. අපේ මුතුන් මිත්තන් සෑම වැදගත් කටයුත්තකදීම වැඩ කළේ නැකැත්වලට අනුකූලව. කෘෂි කාර්මික කටයුතුවලදී පවා එය අකුරටම ඉටු කළා. පුරන් කෙටීමට කුඹුරට බැස්සේ සුබ දිනයක සුබ මුහුර්තියෙන් පඬුරක් එහෙම ගැට ගහලා. එතැන් ඉඳල අස්වනු ගෙට ගන්නා තුරුම සුබ හෝරා, නැකැත් පිළිබඳ සැලකිලිමත් වුණා. තමන් ගේ පරිභෝජනයට ගන්නට පෙර දෙවියන්ට වූ බාර ඔප්පු කරන්න අලුත් සහල් මංගල්‍යය, මුට්ටි මංගල්‍යය පැවැත්වූවා.”

ඕවායින් පලක් වෙනවද? නූගත් මිනිසුන්ගේ මිත්‍යා විශ්වාස කියල තර්ක කරන උදවියත් ඉන්නවා.

“හිරු, සඳු, තාරකාවල හැසිරීම මත තමයි ඡ්‍යොතිෂය පදනම් වෙලා තියෙන්නේ. නූතන තාරකා විද්‍යාවේ ආරම්භය හැටියට සැලකෙන්නේ ගැලීලියෝ ගැලිලි දුරේක්ෂය නිපදවීමත් සමග. ඒ ක්‍රිස්තු වර්ෂයෙන් ගත්තොත් 1609 වැන්නේදී. නමුත් ඊට අවුරුදු හාර දහසකට ඉහත අතීතයකදී අපේ ඉසිවරු සෞරග්‍රහ මණ්ඩලයේ හැසිරීම විමසා බැලුවේ දියුණු කළ අධ්‍යාත්මයෙන්. ඒ විග්‍රහයන් සහ නුතන විද්‍යාවේ සොයා ගැනීම් අතර වෙනසක් නැහැ. එතකොට තාරකා විද්‍යාවත් මිථ්‍යාවක්ද?”

නිදර්ශක දෙන්න.... සරු අස්වනුවලට ඡ්‍යොතිෂය බලපෑවා කියන කාරණය සම්බන්ධයෙන්....

“පැරැන්නෝ චන්ද්‍ර කලාවේ බලපෑම ඉතා හොඳින් දැනගෙන හිටියා. පුර පක්ෂයේ සඳ මෝරන කාලයේ බිත්තර වී දියේ දැම්මේ නැහැ. ඒ කාලවලදී ඉදිකිරීම්වලට අවශ්‍ය ගස් කැපුවේ නැහැ. අඩුම තරමේ උන ගහක්වත්...”

මම බාධා කරමි. කුතුහලය උපරිමයට දැල්වී තිබේ. මෙය අපූර්ව විග්‍රහයකි.

“ඇයි ඒ? මොකක්ද එහි තිබෙන විශේෂත්වය ජානක මහත්තයා?

“හඳ මෝරන කාලෙ වී දියේ දැම්මාම වී කරල් බොල් වෙන ස්වභාවයක් තියෙනවා. නිකමට හිතන්න කරලකින් වී ඇට දහයක් බොල් වුණොත්? අනිත් කාරණේ දැව. ඔය කාලෙ ගස් කැපුවාම ලීවලට ගුල්ලො ගහනවා. වෙනත් කෘමි හානි වෙනවා. මෙහෙම පත්තර පිටුවකින් පැහැදිලි කරන්න අමාරුයි. ඡ්‍යොතිෂය කියන්නේ විශ්වයට. කොහොමද ඒකෙ දිග පළල මනින්නේ?ඹසූර්යයා, චන්ද්‍රයා, ග්‍රහ වස්තු ආදියේ ගමන සහ ස්වභාවය ඡ්‍යොතිෂය මඟින් විවරණය කෙරෙනවා. ඡ්‍යොතිෂ නියාමයන් තුළින් ඒ විශ්ව ශක්තිය යහපත් ආකාරයට ජීවිතවලට ගළපා ගන්නට පුළුවන්.

ඉස්සර ගමේ හිටපු වෙද මහත්තයම තමයි ඡ්‍යොතිර්වේදියා වුණෙත්. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී අනිවාර්යයෙන්ම වේලා පත්කඩය පරීක්ෂා කළා.... ඇයි ඒ? ග්‍රහ දෝෂ තියෙනවා නම් ඒවා මඟ හරවන්නයි එහෙම කළේ. මෙහෙම හිතන්නකො.... බටහිර වෛද්‍ය විද්‍යාව ඉතාම දියුණුයි, විද්‍යාත්මකයි කියන එකේ ආයේ කිසිම තර්කයක් නැහැ. නමුත් සාර්ථක ප්‍රතිකාර තිබිලත් සමහර රෝගීන් සුව නොවන අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඇයි එහෙම වෙන්නෙ? වෛද්‍යවරයාගේ වරදක්ද? ඖෂධවල දෝෂයක්ද? ඒ දෙකමත් නෙවෙයිනම් රෝගියා කිසි විදිහට උපදෙස් පිළිපදිමින් ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඇයි සුව නොවෙන්නෙ? එහෙම වෙන්නෙ ග්‍රහ දෝෂ නිසා. එවැනි බාධක මග හැරවීමේ පිළියම් ඡ්‍යොතිෂයේ තිබෙනවා.

ඉපැරැණි වාස්තු විද්‍යා නියමයන් ගැන වුණත් කියන්න තියෙන්නෙ ඒ ගැන තමයි. ඔබ දැක ඇති මහ ධනස්කන්ධයක් වියදම් කරල හදපු මහා මන්දිර පාලුවට ගිහින් තියෙනවා. ඇයි එහෙම වෙන්නෙ? මේ හැම දෙයක් ගැනම ඉදිරියේදී කතා කරමු.”

 

උපදෙස් ඡ්‍යොතිර් කීර්ති, ආචාර්ය
ජානක රත්නායක