නිවෙසක් ඉදිකිරීමට පෙර බහිරව පුජාවක් කිරීමේ වැදගත්කම

මාර්තු 24, 2021

 

 පැය දෙක තුනකින් පූජාව තියා අවසන් කළ හැකියි

රාත්‍රිය පුරා ගාලගෝට්ටි කරන්න අවශ්‍ය නැහැ

“හිසට සෙවණක් තියෙනවා කියන්නේ හිතට නිවනක්” මේ හැමෝම කියන කතාවක්.

ඇත්තටම ඒක එහෙමද...? ලංකාවෙ බොහොමයක් දෙනා ගෙයක් දොරක් හදා ගන්නෙ පාරමිතාවක් පුරනවා හා සමානව. වසර ගණනාවක් තිස්සේ සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා, මදිපාඩුවට බැංකු ණයකුත් අරගෙන නිවෙසක් හදාගෙන සුබ නැකැතට ගෙවදින්නේ, “දැන්නම් ඉතින් දෙයියනේ කියල වැටිල ඉන්න පුළුවන්...” කියන අපමණ සැනසිලිදායක හැඟීමත් එක්ක. ඒත් ඉතින් සමහරුන්ට ඒක විඳගන්න ලැබෙන්නේ නැහැ.

හිතා ගන්න බැරි විදිහට ලෙඩදුක්, කරදර බාධක එක දිගට පෙළ ගැහෙනවා. ඔන්න ඉතින් ආයෙමත් හිතට නිවනක් නැතිව යනවා. දස අතේ ණය වෙලා ගෙයක් හදාගත්තට වැඩිය කුලී ගෙදරක හිටියනම් කියලා හිතෙන්නෙ ඒ වගේ වෙලාවට. මෙහෙම දේවල් වීමට බලපාන සාධකයක් ගැන පසුගිය සතියේ මෙම විශේෂාංගයෙන් අපි සඳහනක් කළා.

ඒ තමයි ‘බහිරව පූජාව‘. එහි තිබෙන වැදගත්කම ගැන කතිකාවතක යෙදෙන්න අදත් අප සමඟ එක්වෙනවා ඡ්‍යොතිර් කීර්ති, දේශමාන්‍ය ආචාර්ය ජානක රත්නායකයන්.

* නිවෙසක් ඉදිකිරීමට පෙර අදාළ භූමියේ බහිරව පූජාවක් කිරීමේ ඇති වැදගත්කම මොකක්ද?

මෙහෙම පැහැදිලි කිරිමක් කරන්නම්කො. අපි යම් අවශ්‍යතාවක් සඳහා ගහක් කැපීමට පෙර පුරාණයේ දී අනුගමනය කළ පිළිවෙතක් තිබුණා. එතැනදි මෙහෙම කන්නලව්වක් කරනවා.

“...මෙම වෘක්ෂයට අධිගෘහිත දෙවි දේවතාවුන් වහන්සේ නමක් හෝ වෙනත් අදෘෂ්‍යමාන බලවේගයක් හිඳීනම් සමාවී ඉවත් වෙන්න...” ඒ වගේ බෙහෙතකට ගහක පොත්තක් ගැලෙව්වෙත් ගහට වැඳලා, “සබ්බ පා පස්ස අකරණං’ කියන ගාථා රත්නය සිහිපත් කරමින්. අද කාලෙ නම් මෙහෙම චාරිත්‍ර පිළිපැදීමක් සිදුවන්නේ කලාතුරකින්.

අන්න ඒ වගේ භූමියට අරක් ගත් බලවේග බැහැර කර පිරිසුදු, ඵලදායී තැනක් කර ගැනීම තමයි බහිරව පූජාවක් පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය.”

* බහිරව පූජාවක් පැවැත්වීමේ දී සමහරුන් මැලිකමක් දක්වනවා ඒක ශබ්ද සහිතව කෙරෙන සංකීර්ණ කටයුත්තක් නිසා. විශේෂයෙන්ම කුඩා බිම් කට්ටි සහිත වෙන්දේසි ඉඩමකදී බහිරව පූජාවක් පැවැත්වීම ගැටලුසහගතයි නේද?

“හොඳ ප්‍රශ්නයක් ඇහැව්වෙ... ඔය කාරණාව මෙහෙමනෙ. බහිරව පූජාවකට අද්භුත ස්වභාවයක් ආරූඪ කිරීමට සමහර කට්ටඩි මහත්තුරු කටයුතු කිරීම නිසයි විශාල ශබ්ද සහිත විජ්ජුම්බරයක් බවට පත්වෙලා තියෙන්නෙ. ඒනිසා සමහරු මැලිකමක් දක්වනවා බහිරව පූජා තියන්න.”

*ඔබතුමා කියන්නෙ එහෙම දේවල් අනවශ්‍ය බවද?

“සත්තකින්ම එහෙම ගාලගෝට්ටියක් කිරීමට අවශ්‍යතාවක් නැහැ.

යකැදුරා බහිරවයා බවට පත් වෙලා හිස ගසමින් ශරීරය නටවමින් දිව යනවා. දෙහි ගෙඩිය දෙන්න තව කෙනෙක් පස්සෙන් දුවන්න ඕනෙ. භූමිය ආරක්ෂක කරන තැන් සලකුණු කරන්න කූඤ්ඤයි, යකඩ ඉන්නකුයි අරන් තව කෙනෙක් යන්න ඕනෙ. ඔය අව් අස්සෙ බෙර පළනවා.

රැය පුරා කෙරෙන මෙවැනි දේවල් නිසා තමයි මෙවැනි දෙයකට සමහරු පසුබට වෙන්නේ.

* එහෙමනම් නිවැරැදි පිළිවෙත කියන්න...

“හොඳයි, මෙතැනදි ආකාශ බහිරව, පාතාල බහිරව සහ අෂ්ඨ දිශා බහිරව කියන කාණ්ඩ තුනට පූජාව තැබීම තමයි සිදුවෙන්නෙ.

මූලිකවම මල් පැල හතරක් හැදීම අවශ්‍යයි. ඒවාම අවශ්‍ය පූජා වට්ටි තියලා කිවයුතු ගාථා ටිකක් තියෙනවා. එහෙම නැතිව රෑ ජාමයක් වෙනකම් ඝෝෂා කරන්නට අවශ්‍ය නැහැ. ඒ වගේම මෙන්න මේ කාරණාව අවධාරණය කරන්න ඕන. කිසිම දවසක හදපු ගෙදරකට බහිරව පූජාවක් තියන්නේ නැහැ.”

 

 

 

 

උපදෙස් - ඡ්‍යොතීර්කීර්ති, දේශමාන්‍ය, ආචාර්ය මාවනැල්ලේ

ජානක රත්නායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.