කෑම කන ආකාරය අනුව ගතිගුණ හෙළිවන බව දන්නවාද?

ණයට මුදලක් ඉල්ලන මිතුරා එය ආපසු දෙන බව දැනගත හැකි නම්...
මාර්තු 31, 2021

 

අක්‍රමවත්ව ආහාර පිඟානට බෙදා ගෙන ලහි ලහියේ ආහාර ගිලිමින් ඒ අතරම ජලය පානය කර කර සැපීමෙන් තොරව ආහාර ගන්නා තැනැත්තා හෝ තැනැත්තියගේ මනස අවුල් සහගත තත්ත්වයක් ඇති බැව් පෙනේ. හැඳී ගෑරුප්පු පාවිච්චියේදීද අධික ශබ්දයක් පිටවීමෙන් මෙය පහසුවෙන්ම දිස්වේ.

තළුගසමින් ශබ්දකරමින් උගුර පාදමින් සොටු සූරමින් කඩිමුඩියේ කෑමගන්නා අය තුළ සංවරකමක් නැත. ඔහු ගැන අභ්‍යන්තරික දිවියේ කිසිදු විශ්වාසයක් තැබිය නොහැක.

කැම කන අතරවාරයේ ප්‍රශ්න කතා කරමින් කෝපයෙන් ආහාර ගන්නා ගැන කියනුම කවරේද? සමහර සතුන් පවා ආහාර ගන්නේ එක්තරා ක්‍රමවේදයකට අනුවය. ගවයා සහ මුවන් අතරින් මුල් තැන ගනී. තවද ගවයා ඒකාවේරිය පැළෑටිය සහ ගෙඩි නොකන්නේ ඌට රාත්‍රියේ නිදන්න ගිය විට වමරා කෑමට නොහැකි නිසාය. ඌට ජානමය ලෙස මෙම ඉව දැනේ. ශාක භක්ෂක සතුන් ඒ අතින් සංවරය.

පූර්ණ ඇඟිවලත් අල්ලෙත් සැම තැනම ඉඳුල් තැවරෙන ආකාරයට කෑම කන තැනැත්තා ඇසුරු කිරීමට මුදල් ගනුදෙනුවට එතරම් සුබවාදී නොවේ.

සමූහයක් ආහාර ගන්නා තැනක පිඟාන පිරෙන්නටම ආහාර පුරවාගෙන එයින් බාගයක් පමණ කෑම කා විශාල කොටසක් අහක දමන තැනැත්තා ගැන සිරුරේ භාෂාව හරහා කිව හැකි දේ අපමණය.

උගත් බුද්ධිගෝචර කිසිවෙක් මේ ආකාරයට ආහාර නොගනී.

බුදුන් වහන්සේ පාත්‍රයකින් දානය වැළඳීමට භික්ෂූන්ට අනුදැන වදාළේ යටි ගැඹුරු අරුතක් ඇති නිසාමය.

සිරුරේ භාෂාවේ සියුම් ගැඹුරුතම උත්තරීතර අදහස් ප්‍රකාශනය මැනවින් උකහා ගැනීමට හැකි වන්නේද භික්ෂු චරිතයෙනි.

ඇත් ගමන සිරුරේ භාෂාවේ ප්‍රදර්ශන කවුළුවකි. මොනර නැටුම කැපී පෙනෙන සිරුරේ භාෂාවයි. මනෝ භාවයන් තරංග හරහා කෙරෙන අංගචලන භාව චලන ක්‍රියාකාරි පද්ධතිය ගැබ්වී ඇත්තේ සිරුරේ භාෂාව ජීවය කොටගෙනය. ඉදිරියේදී අපි මේ පිළිබදව ගැඹුරින් කතාබහ කරමු.

‘ණයට දීමෙන් මුදලත් මිතුරාත් අහිමිවේ’ යන්න අපේ සමාජයේ ඇති ජනප්‍රිය කියමනකි. මෙයින් අදහස් වන්නේ මොනතරම් සමීපව ඇසුරු කළත් ණයට මුදලක් ලබාගත් විට බොහෝ දෙනකු වෙනස් වන බවය.

ඔබ කිසියම් අයකුට මුදලක් ණයක් ලෙස ලබා දෙන විට ඔහු හෝ ඇය එය ආපසු දෙන බව දැන ගත හැකි නම් එය කොතරම් වටීද?

සිරුරේ භාෂාව තුළින් පුද්ගලයකුගේ අභ්‍යන්තරයේ ඇති බොහෝ දේ කියාපාන බව කිවයුතු නොවේ. එසේ නම් කිසියම් කෙනකු ඔබගෙන් ණයට මුදලක් ඉල්ලන්නේ නම් ඔහුගේ සිරුරේ භාෂාවෙන් එම පුද්ගලයා කෙබඳු අයකු දැයි වටහා ගන්නට උත්සාහ ගන්න.

හිස පිටුපස කසමින් බිමබලාගෙන කෙනෙකුගෙන් ණය මුදලක් ඉල්ලන්නේ නම් ආපසු කෙදිනකවත් ගත් මුදල් ආපසු නොගෙවනු ඇත. මුහුණ බලාගෙන සෘජුව කතා කරමින් මුදල් ඉල්ලන්නා නොවරදවාම ආපසු මුදල් ගෙවනු ඇත. මුදල් දෙන්නා ගැන ඕනෑවට වඩා වර්ණනා කරමින් මුදල් ගනුදෙනුවකට සම්බන්ධවේ නම් ආපසු මුදල් දීම වරින් වර කල් දමමින් එය අමතක කර දමන පුද්ගලයකු බව දැනගන්න.

ඕනෑවට වඩා තමාගේ දුක් ගැනවිලි කියමින් මුදල් දෙන්නා ගේ හිත උණුවෙන තැනට පත්කර මුදල් ඉල්ලන්නා කෙදිනකවත් ආපසු මුදල් දෙන්නේවත් ඔහුව හමුවන්නේවත් නැත. ඉතාම වංක අයෙකි.

“මට ඉස්සර හොඳට සල්ලි තිබුණා. ඒ කාලේ මගෙන් ගනුදෙනු කළ අය දැන් මගේ මූණවත් බලන්නෙ නෑ. ඒකට කමක් නෑ.මං මේ ඔයාව හම්බවෙන්න ආවේ අතමාරුවක් කරගන්න. බැරිද සල්ලි ටිකක් දෙන්න.” එලෙස කියමින් මුදල් ඉල්ලන පුද්ගලයා ආපසු කිසි දිනක සල්ලි දෙන අයකු නොවේ.

සැලසුම්කර හිතවතකුගෙන් රුපියල් 2000 ගෙන හෝ එලෙස ගත් බව පවසමින් තවත් හිතවතකුගෙන් රු. 1000 ඉල්ලන්නේ රුපියල් 3000 ඉක්මනින්ම අවශ්‍යම බව කියාය. ඔහුගෙන් ගත් රු. 1000 ආපසු නොදෙන අයකුගේ සිරුරේ භාෂාවයි ඒ.

“ඔයා මං කොහේදි හරි දැකලා තියෙනවා.... මේ ඔයාට මාව මතක නැද්ද මෙයා.” දෙවැනි ඇඟිල්ලෙන් තොල් පිරිමදිමින් හොරැහින් බලමින් සිනහ මුසු මුහුණින් කතා කරන කාන්තාව ඔහුගේ මුළු මුදල් පසුම්බිය පමණක් නොව බැංකු තැන්පතු පවා ක්‍රමයෙන් වැය කරනු ඇත.

පිරිමියකු කාන්තාවකට හදිසි අවශ්‍යතාවකට මුදල් දුන් අවස්ථාවක ඇය ඔහුගේ අනුකම්පාව ළංකර ගැනීමට ඉතාම අහිංසකව, ළෙන්ගතුව, සංවේදී බව මවා පාමින් කතා කරන්නී නම් ඇය ගැන ප්‍රවේසම් වන්න. ඔබට ඇගෙන් බේරුමක් නැතිවේවි.

පිරිමියකු හමුවේ පපු පෙදෙස අත ගාමින් කතා කරන ඇතැම් කාන්තාවන් ඔහුගේ යටි සිත සොරා ගැනීමට වෙරදරන බව පැහැදිලිය. තෙවැනි සිල් පදයද කඩා මොනර දඩයමේ යෙදීමට තැත් කරන කාන්තාවකගේ සිරුරේ භාෂාවයි එය.

ආහාර ගැනීමේදී සිරුරේ භාෂාව මැනවින් උපයෝගි කර ගැනීමට හැකිවේ. සෙමින් ක්‍රමවත්ව ආහාර බෙදා ගෙන ඇඟිලිතුඩුවල පමණක් තැවරෙන ආකාරයෙන් කෑම කන්නා ඉතාම සංසුන් සංවේදී මනසක් හිමි බුද්ධිමත් කෙනකු වේ. දක්ෂ කළමනාකරුවෙකි.

 

 

ප්‍රවීණ ජොතීර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල