නීත්‍යානුකූලව කටයුතු කළොත් අනාගතයේ දී කිසිම ගැටලුවක් නැහැ

දෙසැම්බර් 19, 2018

දස එකඩ මසක් කුස දරා දරුවකු ලබන්නට සෑම ගැහැනියකටම අවස්ථාව උදාවන්නේ නැත. ඒ සොබාදහමේ නියමයන්ට අප ද යටත්වන බැවිනි.

කුස දරා දරුවකු හදන්නට නෙහැකි වුවද දරුවකුට වන සෙනේ නිසාම දරුකමට හදාගන්නට මේ බිම මත ඕනෑතරම් දරුවන් හිඳී. එවැනි දරුවකු හදාගන්ට සිතන මාපියවරුනට කෙරෙන පැහැදිලි කිරීමයි මේ.

දරුවකු කුලවද්දා ගැනීම එසේත් නැතිනම් දරුවකු දරුකමට හදාගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ වැදගත්වන මූලික කරුණු පිළිබඳ පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කරනු ලැබිණි. එහිදී කුලවද්දාගත හැක්කේ කවරෙක් ද? ඒ සඳහා ඉල්ලීමක් කළ හැක්කේ කාටද? ළමයාගේ කැමැත්ත, ස්වාභාවික මවුපියන්ගේ කැමැත්ත ආදී කරුණු පිළිබඳ පැහැදිලි කෙරිණි. එම අවශ්‍යතා සපුරා ගත් පසු දරුකමට හදාගැනීමට දරුවකු ලබාගැනීමේ නඩුවක් පැවරිය යුතු ආකාරය, දරුකමට හදාගැනීමේ නියෝගයක් ලබා දී මේ දී අධිකරණය සලකා බලන කරුණු සහ දරුකමට හදාගැනීමේ නියෝගයක් ලබා දීමෙන් පසු අයිතිවාසිකම්, යුතුකම් සම්බන්ධයෙන් සිදුවන වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

කුමන අධිකරණයකට ද?

කුලවද්දා ගැනීමේ නඩුවක් ඉදිරිපත් කළ යුතු අධිකරණය වන්නේ දිසා අධිකරණයටයි. හදාගැනීමට අපේක්ෂිත දරුවා හෝ ඉල්ලුම්කරු පදිංචි දිස්ත්‍රික්කයේ දිසා අධිකරණයට එම ඉල්ලීම කළ යුතුවේ. පසුගිය සතියේ සාකච්ඡා කෙරුණු ආකාරය දරුවා සම්බන්ධයෙන් අදාළ වන කරුණු, ඉල්ලුම්කරු සම්බන්ධයෙන් සපුරාලිය යුතු අවශ්‍යතා ආදිය ඇතුළත් කරමින් පෙත්සමක් සකස් කර එය සමඟ දිවුරුම් පෙත්සමකින් අදාළ ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

ලේඛන මොනවද?

නඩුව පවරන අවස්ථාවේ දී පෙත්සම හා දිවුරුම් පෙත්සම සමඟ ඉදිරිපත් කළයුතු ලේඛන රැසකි. විවාහක යුවළක් මේ ඉල්ලීම කරන විට ඔවුන්ගේ විවාහ සහතිකයේ පිටපතක්, වයස තහවුරු කිරීමට උප්පැන්න සහතිකවල පිටපත් හා හදාගැනීමට අපේක්ෂිත දරුවාගේ උප්පැන්න සහතිකයක් තිබේ නම් එහි සහතික පිටපතක් ද අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. එමෙන් ම ඉල්ලුම්කරුවන්ට දරුඵල නොමැති බවට වෛද්‍ය වාර්තාවක් ද ඔවුන්ට ස්ථිර පදිංචි නිවෙසක් ඇති බවට සහතික කරන ග්‍රාම නිලධාරි වාර්තාවක් ද ඉල්ලුම්කරුට ස්ථිර රැකියාවක් ඇත්නම් අදාළ ආයතනයෙන් ලබාගත් වැටුප් වාර්තාවක ද ස්ථිර රැකියාවක් නොමැති නම් දරුවකු නඩත්තු කළ හැකි තරම් ආදායමක් ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් ආදායම් සහතිකයක් ද ඉදිරිපත් කළ යුතු වේ.

නඩු කටයුතු

දරුකමට හදාගැනීමේ නඩුවක දී හදාගැනීමට අපේක්ෂිත දරුවා, එම දරුවාගේ ස්වාභාවික මවුපියන්, පරිවාස නිලධාරියා, පළාතේ පරිවාස කොමසාරිස් ජෙනරාල්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරයි. දරුවා වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණයෙන් භාරකරුවකු පත්කරනු ලබයි. සාමාන්‍යයෙන් සිදු වන්නේ පරිවාස නිලධාරියකු භාරකරුවා ලෙස පත් කිරීමයි. දරුවා හදාගැනීමට ඉල්ලුම් කරන අය ඒ සඳහා සුදුසු තත්ත්වයක සිටියිද යන්න පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවීමද සිදුවේ. ස්වාභාවික මවුපියන්ගෙන් හා ඉල්ලුම්කරුවන්ගෙන් සාක්ෂි විමසීම ද සිදුවේ.

සලකා බලන කරුණු

සපුරාලිය යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේ නම් අධිකරණය කුලවද්දා ගැනීමේ නියෝගයක් ලබා දෙයි. එවැනි නියෝගයක් ලබා දීමේ දී අධිකරණය ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පයයි. එනම් නියෝගය දීමට පෙර එම නියෝගයෙන් දරුවාට උපරිම යහපත සිදුවන්නේ දැයි අධිකරණය සලකා බලන බවය. දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පයේ මූලික මූලාශ්‍රය වන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියයි. දරුකමට හදා ගැනීමේ නියෝගයක් දීමේ දී දරුවාගේ යහපත පිළිබඳ සලකා බැලිය යුතු බව දරුකමට හදාගැනීමේ ආඥා පනතේ 4 වගන්තිය යටතේ දක්වා තිබේ.

උපරිම යහපත

දරුවාගේ උපරිම යහපත යන සංකල්පයේ දී දරුවාගේ කායික-මානසික යහපත, දරුවාගේ රැකවරණය, දරුවාට පෝෂණය ලබා දීම ඇතුළු එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා මූල්‍යමය තත්ත්වයට අදාළ සාධක, දරුවාගේ සදාචාරාත්මක වර්ධනයට අදාළ කරුණු, දරුවාගේ සෞඛ්‍යයට බලපාන සාධක ආදිය පිළිබඳ අධිකරණය අවධානය යොමුකරයි.

වගකීම් හුවමාරුවක්

කුලවද්දා ගැනීමේ නියෝගයක් ස්වාභාවික මවුපියන්ගේ හා දරුකමට හදාගන්නා මවුපියන්ගේ අයිතිවාසිකම් යුතුකම්වලට දරුවාගේ උරුමකම්වලට ද බලපෑමක් ඇති කරයි. නියෝගය නිකුත් කළ විට දරුවා හා ස්වාභාවික මවුපියන් අතර තිබූ නීතිමය සබඳතා අහෝසි වේ. ස්වාභාවික මවුපියන්ට දරුවා පිළිබඳ තිබූ වගකීම් යුතුකම්, අයිතිවාසිකම් අහෝසි වී ඒවා දරුකමට හදාගන්නා මවුපියන් වෙත මාරුවීමක් සිදුවේ. නව මවුපියන් යටතේ ඔවුන්ගේ විවාහයෙන් උපන් දරුවකුගේ තත්ත්වය දරුකමට හදාගන්නා දරුවාට හිමිවේ. දරුවාගේ නඩත්තුව, භාරකාරත්වය, අධ්‍යාපනය ලබාදීම ආදී සියලු යුතුකම් දරුවා හදාගන්නා මවුපියන් වෙත පැවරේ.

දරුවා භාරදීමෙන් පසු

අධිකරණ නියෝගය ලබා දීමෙන් පසුව ඒ පිළිබඳ රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට දැන්විය යුතු වේ. රෙජිස්ටර් ජෙනරාල්වරයා උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ඒ දරුවා කුලවද්දා ගත් දරුවකු ලෙස සටහන් කළ යුතුය. මේ අනුව දරුවාගේ නම සංශෝධනය කිරීම ද කළ හැකියි.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ නීත්‍යානුකූලව දරුවකු හදා ගැනීමේ නියෝගයක් ලබා ගෙන කටයුතු කිරීමෙන් දරුවා හදා ගන්නා මවුපියන්ට දරුවා සම්බන්ධව පැහැදිලි අයිතිවාසිකමක් ලැබෙන බවයි. දරුවන් හදා ගැනීමට ලබා ගන්නා මවුපියෝ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය අනුගමනය නොකර දරුවන් ලබා ගැනීමෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙති. බොහෝ අවස්ථාවල ස්වාභාවික මවුපියන් දරුවා නැවත ඉල්ලමින් කරදර කරන අවස්ථා බොහෝය. දරුවා හදාගන්නා මවුපියෝ අධිකරණයේ පිහිට පතන්නේ එවැනි ගැටලුවක් පැන නැඟි විටය. නමුත් මුල සිටම නීත්‍යානුකූලව දරුවකු හදාගැනීමට ලබා ගැනීමෙන් ඒ මවුපියන්ගේ අයිතිවාසිකම්වලට අභියෝග කිරීමට ස්වාභාවික මවුපියන්ට නො හැකියි. එනිසා දරුවකු දරුකමට හදාගැනීමට බලාපොරොත්තුවන අයෙක් තරයේ ම මතක තබා ගත යුතු කරුණ වන්නේ නීත්‍යානුකූල ක්‍රියමාර්ගය අනුගමනය කළ යුතු බවයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.