අප කාලය කා දැමුවහොත් කාලය විසින් අපව කා දමනු ඇත

NIBM හි පරිගණක විද්‍යා අංශයේ අංශාධිපතිනී ආචාර්ය බුද්ධිමා සුබසිංහ
ජූලි 17, 2019

අයියෝ මට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ අනේ....

මට නම් දවසේ පැය 24 ම මදි. මේ තියෙන වැඩගොඩ ඉවර කරගන්න...

මේ වගේ මැසිවිලි ගැහැනු, පිරිමි දෙපාර්ශවයෙන්ම අපේ සවනතට කොතෙකුත් ඇසී ඇත. එපමණක් ද ඔබේ මුවිනුත් මෙවැනි මැසිවිලි කොතෙක් නම් පිටවී ඇත් ද?

ඇයි අපට පැය 24 මදි වුණේ. ඇයි අපට හුස්ම ගන්නවත් වෙලාවක් නැත්තේ. ඔබ, ඔබේ හදවතින්ම අසා බලන්න. කොතැන ද අපට වැරැදුණු තැන. මේ හැමදේටම මුල් වුණේ කාලය නිසි ලෙස පරිහරණය නොකිරීම, කාලය අපතේ යැවීම. එහෙමත් නැත්නම් කාලය නිසි පරිදි කළමනාකරණය නොකිරීම නොවේ ද? අප කාලය කා දැමුවහොත් කෙදිනක හෝ කාලය විසින් අපව කා දමනු ඇත.

තාරුණ්‍යයේ පසුවන ඔබ මේ ගෙවනුයේ ජීවිතයේ සෞන්දර්යාත්මක බවින් අනූන වූ සොම්නස්දායක කාල පරිච්ඡේදයකි. සොඳුරු නවාතැන්පළ කිහිපයකින් ම සැදුම්ලත් තාරුණ්‍ය විනෝදාස්වාදයට මෙන්ම හරවත් බවින් පිරි එකක් ලෙස ගතකිරීම අනාගත ආයෝජනයක් ම වනු ඇත. එසේ නම් ඔබ කාලය කළමනාකරණය කිරීම කෙරෙහි බෙහෙවින් ම සැලකිලිමත් විය යුතුය.

ළදරු කාලය, ළමා කාලය, ගැටවර විය විනෝදජනක ලෙස ඉතාම සැහැල්ලුවෙන් ගත කළ ඔබ හැමවිටම අරමුණක් කෙරෙහි එල්බගෙන සිටියේ නම් එම ඉලක්කය කරා ළඟාවනවාමයි යන සිතුවිල්ල දිනපතාම අලුත් කරගත යුතුය. දිනපතාම එම ඉලක්කයේ යම්කිසි කොටසක් හෝ පූර්ණ කළ යුතු වේ.

මම, මගේ ඉලක්කය කරා ගිය ගමන් මඟේ නොයෙකුත් සන්ධිස්ථානයන් තාරුණ්‍යයේ පසුවන ඔබ වෙත තිළිණ කරනුයේ ඔබේ ගමන්මඟ ද එළිපෙහෙළි කරනු සඳහා ය. ගෙවී ගිය කාලය නැවත කිසිදා අප සොයා නොඒ. එසේ නම් කා දැමු කාලය පිළිබඳ සිත සිතා සිටීමෙන් ඵලක් වන්නේ නැත. එය ජීවිතය ආපස්සට යෑමකි. හැමවිටම අප ජීවත් විය යුත්තේ වර්තමානය සහ අනාගතය සැලසුම් කරමිනි. මේ මොහොත එහි ආරම්භය යැයි සිතන්න.

දකුණු ආසියාවේ ළාබාලතම පශ්චාත් උපාධිධාරිනිය (ර්‍ථඩ්ච්) වීමේ අභිලාෂය මගේ ජීවිතය ඉතා ඉක්මනින් ළඟාකරගත යුතු ඉලක්කය බවට පත් කරගත්තේ අවුරුදු 10-12 තරම් කුඩා කාලයේ දී. එදා පටන් මට හැම දවසකටම සැලසුමක් තිබුණා. සැලසුමක් නැතිව උදේ වී, රෑ බෝවී ගෙවුණු දවසක් නැති තරම්.

මේ සැලසුම දැනුම් තේරුම් ඇති වයසේ පටන් දරුවන්ට කළහැකි දෙයක්. ඒ සඳහා මාර්ගෝපදේශකත්වය සැපයිය යුත්තේ මාපියන්. මුලින්ම දරුවාට යහ මාර්ගය පෙන්වීමෙන් පසු දරුවා එම මාර්ගයේ යනවා දැයි යන්න පිළිබඳ අවදියෙන් සිටීම පමණයි මාපියන් කළයුතු වන්නේ.

පාසල් යන වියේ පසුවන දරුවන්ට පුළුවන් මම පන්තියේ පළමුවැනියා වෙනවා. පළමුවැනි පස්දෙනා, දහදෙනා අතරට එනවා. මේ වගේ ඉලක්ක හරිම වැදගත්. ගැටවර වියට එළැඹී පසුවයි බොහොමයක් තරගකාරී විභාගවලට ඉදිරිපත් වීමට සිදුවන්නේ. මේ කාලය ගතින් මෙන්ම සිතිනුත් විවිධ සන්ධිස්ථානයන් සිදුවන කාලයක්. මේ නිසා සිත විසිරෙන්නට ඇති අවස්ථා වැඩියි. සා/පෙළ, උසස් පෙළ ඉහළින් සමත්වීම, ක්‍රීඩකයකු නම් තරග ජයග්‍රහණය මේ සියලු පරිච්ඡේදයන් මිහිරි මතක සටහන් ඇති ඒවා බවට පත්කිරීමට සහය වන්නේ එදිනෙදා සැලැස්මයි.

 

2019/07/17 තරුණි බලන්න