ජීවිතය දිනීමට අනවශ්‍ය පුරුදුවලින් මිදෙමු

ජූලි 31, 2019

පුරා දශක පහක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ළමා හා කාන්තා පරපුරේ උන්නතිය හා ආරක්ෂාව සැලසීම සඳහා හඬක් නැඟූ ‘තරුණී’ පුවත්පතේ 50 වැනි උපන් දිනයට උණුසුම් සුබ පැතුම් එක් කරනු ලබන්නේ හදපිරි සතුටිනි. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රෞඪ හා සශ්‍රීක රාජධානිය වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිරිමත් කාන්තා පරපුර පමණක් නොව රටේ සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම මෙලෙස සුබපැතුම් එක් කරනු ලබන්නෙමු.

තරුණී පුවත්පතට තවත් සියවසකටත් අධික චිරාත් කාලයක් තුන් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

චන්ද්‍රානි බණ්ඩාර

ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී

------------------------------------

අප සෑම අයකුම උත්සාහ දරන්නේ අප කැමැති අයුරින් ජීවිතය දිනීමට යි. එහෙත් ඒ සඳහා යා යුතු ගමන් මඟ නොදන්නා බොහෝ දෙනෙක් ඒ මඟ සොයමින් පසු වෙති. විටෙක නොමඟ ද යති.

ඒ බොහෝ දෙනාට හරි මඟ පෙන්වීමට ඇරැඹි මේ ලිපි පෙළ ඔබේ ජීවිතය දිනන ගමනට මඟ පෙන්වන පහන් තරුවක් ම වනු ඇති.

පසුගිය සතියේ මුදල් පරිහරණය කරන පිළිවෙළ ගැන අපි කතා බහ කළෙමු. අද අපි ඒ පිළිබඳව වැඩි දුරටත් මේ කතා බහ තුළින් දැනුම්වත් වෙමු.

බැංකුවලින් අපේ ඉතිරි කිරීමේ ගිණුමට ලැබෙන පොළිය පිළිබඳ හෝ අපිට නිසි දැනුමක් මෙන්ම අවබෝධයක් ද, අවධානයක් ද නැත.

ජීවිතය පිළිබඳ අප දකින සිහින කොතෙකුත් ඇත. එහෙත් ඒවා සැබෑ කරගැනීමට අප උනන්දු නොවේ. විශ්‍රාම යන අයෙක් විශ්‍රාම දිවිය ගත කිරීමට සිහින දකින්නේ ඈත පළාතක ඉඩමක වගාවක් කරමින් ජීවත් වීමට යයි පැවසුවත් ඔහුගෙන් එය කුමන කාලයකදී කුමනාකාරයෙන් කරන්නේ දැයි ඇසුවොත් ඒ සඳහා පිළිතුරු නැත. එනම් එවැනි දෙයින් පෙනෙන්නේ සිහින දුටුවාට ඒවා සැබෑකර ගැනීමට එම පුද්ගලයන් කිසිඳු පියවරක් ගෙන නැති බවයි. ඒ සඳහා සූදානමක් නැති බවයි.

ජීවිතයේ අප දකින බොහෝ සිහින සඳහා මූල්‍ය වටිනාකමක් ඇත. උදාහරණයක් ලෙස පැවසුවොත් දරුවා ලොකු පාසලකට යැවීමට, දරුවාට විදෙස් අධ්‍යාපනය ලබා දීමට, නිවෙසට නව පෙනුමක් ලබා දීමට, වන්දනා ගමනක් යාමට, විනෝද ගමනක් යාමට වැනි මේ කුමනාකාරයේ සිහිනයකට වුවත් මූල්‍යමය වටිනාකමක් ඇත. ඒවා හැබෑකර ගැනීමට නම් යම්කිසි මුදලක් ද අවශ්‍ය වේ.

මේ අරමුණු අපට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙසින් බෙදා දැක්විය හැකිය. මේවා සැබෑකර ගැනීමට තමාට හැකියාව තිබිය යුතුයි. කෙටි කාලීන ලෙස සැලකෙන්නේ අවුරුදු දෙකක කාලය තුළ ඉටුකර ගත යුතු සිහිනයි. බොහෝ විට අප සිතා ගත යුතුයි මේ වසර අවසන් වන විට, මම මේ සිහිනවලින් යම් කොටසක් ඉටු කළ යුතු බව. උදාහරණයක් ලෙස ඔබ විදෙස් සංචාරයක් සඳහා බලාපොරොත්තුවක් පවතී නම් ඒ සඳහා අවශ්‍ය මුදල් ඉතිරිකර ගැනීම ආදිය සිදු කළ යුතුයි. නිවෙසක් හැදීමට නම් එහි පළමු අදියර පළමු අවුරුද්දේ සිදු කළ යුතුයි.

මෙවැනි දේ එකවර සිදු කළ නොහැකියි. විනෝද ගමන් යාම වැනි දේ එක්වරම වුවද සිදු කළ හැකියි. එහෙත් එවිට එය සැලසුම් කළ ගමනකට වඩා වියදම් අධික වූ අපට අවශ්‍ය ස්ථානවලට යාමට අපහසුතා ඇති විය හැකි ගමනක් විය හැකියි. ඒ නිසා එවැනි දෙයක් වුවත් කල් ඇතිව සැලසුම් කරන විට මුදල් ඉතිරිකර ගැනීමටත් ගමන අතරමඟ දී සිදු විය හැකි අපහසුතා වුවද මඟහැර ගැනීමටත් හැකියාව ඇත.

මධ්‍ය කාලීන අරමුණු ලෙස අවුරුදු හතර පහක් ඇතුළත සැබෑ කරගත යුතු සිහින දැක්විය හැකියි. මවුපියන් දඹදිව වන්දනාවේ යැවීම, අධ්‍යාපනය සඳහා පාඨමාලාවක් හැදෑරීම, උපාධිය ලබා ගැනීම මෙන්ම දරුවකු පාසලට ඇතුළත් කිරීම වැනි දේ මධ්‍ය කාලීන අරමුණුවලට උදාහරණ ලෙස ගත හැකිය. දරුවකු ඉපදුණ පසු අවුරුදු පහක් ගිය විට අනිවාර්යයෙන් දරුවා පාසලකට යැවිය යුතු බැවින් එය සැලසුම් කළ යුත්තේ දරුවා ඉපදුණු විගසම ය. නැතිනම් අද පවතින තත්ත්වය අනුව දරුවාට පාසලක් ලබා ගැනීමට අසීරු විය හැකියි.

සිංහල අවුරුද්ද, නත්තල, උපන්දින, සංවත්සර ආදිය ඉදිරියට පැමිණෙන බව අපි කල් ඇතිවම දනිමු. එම නිසා එවැනි උත්සව අවස්ථා සැමරීමට අපිට කල් ඇතිව සූදානම් විය හැකිය. තමන් එම උත්සවය සඳහා කොතරම් මුදලක් වැය කිරීමට සූදානම් ද යන්න සිතා බලා ඒ සඳහා මුදල් එකතුකර ගැනීම කල් ඇතිවම කළ යුතුය. එසේ කරන විට හදිසියේ හොඳ බඩු භාණ්ඩ අඩු මුදලකට ලබා ගත හැකි අවස්ථාවක් ලැබුණහොත් අපිට එම භාණ්ඩ මිල දී ගෙන ත්‍යාග ලබා දීම සඳහා තබා ගත හැකියි.

ඇතැම් විට ඔබ බොහෝ තෑගි භෝග, ත්‍යාග වවුචර ආදිය ලබන අයකු නම් එම දේවල් සුරක්ෂිතව තබා ගැනීමෙන් අවුරුදු කාලයට තෑගි දීම සඳහා ඒවා යොදා ගත හැකියි. කෙටි කාලීනව මෙවැනි දේ සඳහා සූදානම් වීමෙන් ඔබේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වීම වළක්වා ගත හැකියි.

සාමාන්‍යයෙන් අවුරුද්දකට මංගල උත්සව එකකට දෙකකට යාමට ඕනෑම අයකුට සිදු වේ. එම නිසා මැහුම්, අත්කම් ආදිය සිදු කළ හැකි අයට කලින් සිටම උත්සවයක් සඳහා ඇඳුමක් නිර්මාණය කරගන්නේ නම් හදිසියේම උත්සවයකට යාමට වැඩි වියදමක් දරා ඇඳුම් සෙවීමට කඩ සාප්පුවල රස්තියාදු වීමට අවශ්‍ය නැත.

මේ අතර හදිසියේ රෝගාබාධ ඇතිවුවහොත් ඒ සඳහා වියදම් කිරීමටද අපගේ මූල්‍ය සැලසුමේ කොටසක් වෙන්විය යුතුය. වෛද්‍ය රක්ෂණයක් ගැනීම ද මෙයට පිළියමකි. එසේම අපට අප සතු වටිනා යමක් නැතිවුවහොත් එහි පාඩුව දරා ගැනීමට අපහසු නම් එවැනි බඩු භාණ්ඩ රක්ෂණය කළ යුතුය. උදාහරණයක් හැටියට අපේ නිවෙසේ තිබෙන රූපවාහිනිය හොරු ගෙන ගියොත් මට තවත් අලුත් රූපවාහිනියක් මිල දී ගත හැකි නම් එය රක්ෂණය කිරීමට අවශ්‍ය නොවේ. මේ සියල්ල කෙටි කාලීන දේවල් ලෙස ගත හැකිය.

තෙවැනි කොටස වන්නේ දීර්ඝකාලීන අරමුණු ය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු, විශ්‍රාම දිවිය ගත කරන ආකාරය, දරුවන්ගේ විවාහ කටයුතු ආදීය දීර්ඝකාලීන අරමුණු ලෙස දැක්විය හැකියි. අපිට මේවා දීර්ඝකාලීනව සැලසුම් කිරීමට සිදු වේ. ඇතැම් විට සැලසුම් කළ ආකාරයට කිරීමට අපහසු විය හැකි වුවත් සැලසුම නිසා එම කටයුතු කිරීම පහසු විය හැකියි.

මේ කාරණා තුන අපි ජීවිතය සැලසුම් කිරීමේ දී කළ යුතු දේ ය. මේ දේවල් අපි නොදන්නා දේවල් නොවේ. එහෙත් මේ සාමාන්‍ය දැනීමෙන් අප දන්නා දේ ක්‍රියාවෙන් ඉටු කිරීමට උනන්දුවක් තිබිය යුතුය. අපට ඇත්තේ දැනීම සහ නොකිරීම අතර පරතරයයි. මෙයට බලපාන ප්‍රධාන කාරණා කිහිපයකි.

ඉන් එකක් වන්නේ මූල්‍ය විනයක් නොමැතිකමයි. 'හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා' කියන මතයට ජීවත් වීම අද බොහෝ දෙනාගේ පුරුද්දකි. අපි මොනවා කළ යුතුදැයි අපි නොදැනුවත්වම අපිට පිටින් යෝජනාවල් ඉදිරිපත් කෙරෙයි. වෙළෙඳපොළට ගිය විට එකක් ගත් විට දෙකක් නොමිලේ යැයි සඳහන් පුවරු දුටු විට එතරම් ප්‍රමාණයක් වුවමනා නැති වුවත් එය ගැනීමට අප පෙලඹේ. ලාභය සොයා යන ව්‍යාපාරික ලෝකයක ජීවත්වන අප පසුම්බියෙන් මුදල් ගත යුතු මොහොත ගැන හොඳින් දැනුවත්ව සිටිය යුතුයි.

තරගය නිසා මිලදී ගැනීම් සිදු කිරීම ද තවත් එක් සාධකයකි. උදාහරණයක් ලෙස සියලුම යහළුවන් නවීනතම ජංගම දුරකථන භාවිත කරන නිසා තමාගේ හොඳ තත්ත්වයේ පවතින දුරකථනය ඉවත දමා අලුත් දුරකථනයන් මිල දී ගැනීම දැක්විය හැකියි. මෙම පුරුද්ද දිගින් දිගට ම සිදු කිරීමට යාමේ දී තමා නොදැනම ණය ගැනීමට පවා පෙලඹිය හැකියි.

තව දෙයක් වන්නේ 'මට එහෙම වෙන්නේ නැති බව' සිතීමයි. ණය වෙනවා මිසක් මේ පුරුද්දෙන් මිදීමට උත්සාහයක් නොදරයි.

දිගින් දිගටම ණය වීම ද පුද්ගලයා දියුණුවට නොව, පිරිහීමට කරුණක් වේ. එම නිසා ජීවිතය දිනීමට නම් ඔබ අනවශ්‍ය පුරුදුවලින් මිදීමට සිත මෙහෙය විය යුතුය.

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි