හරි මඟින් රට යන්නේ කොහොමද?

සැප්තැම්බර් 25, 2019

රන් කහවණු සොයන්නට මැද පෙරදිග රටවලට යන්නට පෙරුම් පුරන කාන්තාවන් කොතෙකුත් ය. ඒ අතර මැද පෙරදිග රටවලට ඉසුරු සොයා ගිය කාන්තාවන්ගෙන් බොහෝවිට ඇසෙන්නේ දුක් අඳෙීනාවන් ය. ඒ නිවැරැදි මාවත අනුගමනය නොකර විදේශගතවීම නිසාය.

‘හරි මඟින් රට යන්නේ කොහොමද’ මේ දිනවල විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඉදිරිපත් කරන දැන්වීම ඔබේ සවණතටත් වැකුණා විය හැකියි. විදේශ රැකියාවක නිරත වෙමින් තම පවුලේ ආර්ථිකයට උරදෙන්නට අවැසිය යන සිතුවිල්ල කාන්තාවක ගේ සිතෙහි ජනිත වූ වේලේ පටන් ඇය ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත කවරේද? තරුණි කියවන සුවහසක් කාන්තාවන් විෂයෙහි ඒ පිළිබඳ කරන දැනුවත් කිරීමයි මේ.

ඇත්තටම හරි මඟින් රට යන්නේ කොහොමද? ඒ සඳහා ඔබ නිසැකවම අනුගමනය කළ යුත්තේ නීත්‍යානුකූල ක්‍රියා පිළිවෙතකි. එසේ නොවුණු විටදී ඔබ ව්‍යාජ ඒජන්සිකරුවන්ට (විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි නොවූ) හසුවේවි.

එසේත් නැතිනම් විදෙස් රටකදී ඔබ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන නිවෙසේ අකටයුතුකම් සඳහා ලක්වුවහොත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට නොහැකි වේවි.

සෘජුව විදේශගතවීම

විදේශ රැකියාවක් සඳහා යෑම අවස්ථා දෙකකදී සිදු කළ හැකි වේ. ඒ ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සඳහා යොමුවීම හෙවත් සෘජුව විදේශ රටක සිටින තම හිතවතකුගේ මාර්ගයෙන් විදේශ රැකියාවක් ලබා ගැනීමයි. මේ ක්‍රමයේ දී රැකියා නියෝජිතායතන කිසිදු මැදිහත්වීමක් සිදු නො කරයි.

රැකියා ඒජන්සියක් හරහා

විදෙස් රැකියාවක් සඳහා යා හැකි අනෙක් ක්‍රමය නම් විදෙස් රැකියා ඒජන්සියක් හරහා යෑමයි.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම

මේ ක්‍රම දෙකින් කුමන ක්‍රමය අනුගමනය කළත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පිහිට පතන ඔබ සෑම අතකින් ම සුරක්ෂිත ය. ඔබ යන්නේ තම මවු රටින් බැහැරව තවත් රටකට ය. මවු රටේ මෙන් රිසි සේ කටයුතු කරන්නට විදෙස් රටක දී අවස්ථාව ලැබෙන්නේ නැත. එසේ නම් ඔබේ සුරක්ෂිතභාවය සම්බන්ධව නිත්‍යානුකුල බැඳීමක් ඇති කරගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. ඔබ විදෙස් රටක දී කිසියම් විපතකට මුහුණ පෑවොත් වඩාත් අසරණ වන්නේ ඔබේ පවුලේ දූ දරුවන් ඇතුළු පිරිසයි.

අවශ්‍ය ලිපි ලේඛන

මෙහිදී විදේශ රැකියාව සඳහා යෑමට අවශ්‍ය වන ලේඛන කිහිපයක් ම තිබේ. විදේශ ගමන් බලපත්‍රය රැකියා ගිවිසුම, රැකියා වීසා බලපත්‍රය, පුහුණු සහතිකය, පවුල් පසුබිම් වාර්තාව වැනි ලේඛන සමඟ ඔබ පැමිණිය යුතුවන්නේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අනුමැති අංශයට ය. එහිදි විදේශ රැකියාවට අවශ්‍ය කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයෙන් ලබාගත යුතුය.

දුරකථනයෙන්

ක්ෂණික දුරකථන අංකයට අමතරව 0112864117, 0114873532, 0114388290 අංක ඔස්සේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමතීමට පුළුවන.

ලිපිමඟින්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.

 

උපදෙස් - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ප්‍රචාරක හා මහජන සම්බන්ධතා)

ශ්‍රියන්ති කුමාරගේ

 

2019/09/25 තරුණි බලන්න