දෙදෙනා එක ම තැන සේවය කරනවා නම් මේ කරුණු දැන සිටිය යුතුමයි

ජනවාරි 15, 2020

සුධාරිකා පවුලේ එකම දරුවා නිසා ආදරය, ආරක්ෂාව, අවධානය මේ හැමදේම ඕනවටත් වඩා ලැබුණා. අම්මා උසස් පෙළ පන්තියෙදිත් සුධාරිකා අතින් අල්ල ගෙන පන්ති ගියා. බත් කැව්වා. ඒත් ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැහැ කියනවනේ.

උස් මහත් වෙලා හොඳින් ඉගෙන ගෙන රස්සාවකුත් කරන්න පටන් ගත්තම අම්මට එයාගෙ හෙවණැල්ලක් වගේ ඉන්න බැරි වුණා. පෙකණි වැල වගේ තිබ්බ බැඳියාව බිඳිලා ගියාට පස්සෙ සුධාරිකාට දැනුණෙ තමන් තෙරක් නොපෙනෙන අහසෙ තනි වුණු තටු සිඳුණු කිරිල්ලියෙක් කියලයි. මේ වගේ කිරිල්ලියන් ගොදුරු කරගන්න දත් විළිස්සා ගත් රකුසන් ඉන්න බව එයා තේරුම් ගන්න කොට සේවා ස්ථානයේ එක රකුසෙකුට අහුවෙලා ඉවරයි. ඇය හිතුවෙ ඔහු දිව්රමින් තමන්ට කිව්ව හැම දෙයක්ම ඇත්ත කියලයි. ඒත් ඔහු ගැන හොයලා බලද්දි විවාහක කාන්තාවක් එක්ක සම්බන්ධයක් පවත්වා ගෙන යන්නෙක්. ඔහු ඇයත් එක්ක යාළු වීම මාපියන් ඉදිරියේ කළ ගරු රඟ පෑමක්. මේ සිද්ධියත් එක්ක සුධාරිකා ආදරය කියන වචනය ජීවන ශබ්ද කෝෂයෙන් ඉවත් කළා. ඒත් මේ හැමදේම දැනගෙනත් සුධාරිකාට ආදරය කරන තරුණයෙක් සේවා ස්ථානයේ හිටියා.

සුධාරිකාගේ හොඳම යෙහෙළිය අංගනා ගැහැනියක් විවාහ වෙන්න ඕන තමන් කැමැති කෙනකු සමඟ නොව තමන්ට ආදරය කරන කෙනකු සමඟ බව පුන පුනා පැවසුවත් සුධාරිකාගේ දැඩි තීරණය නම් වෙනස් වුණේ නැහැ. ආදරය, විවාහය ගැන ඇති සුධාරිකාගේ වැරැදි මත වෙනස් කරන්න මොන තරම් උත්සාහ ගත්තත් ඒක ගලකින් පට්ටයක් ගැනීම වගේ වැඩක් වුණා. මිතුරිය සුධාරිකාට අපූරු ආරාධනාවක් කළේ ඔය අතරෙදියි. මිතුරියගෙ මාපියන්ගෙ පනස් වැනි විවාහ සංවත්සරයට ලැබුණු ආරාධනාව සුධාරිකා ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. උත්සවයට සුධාරිකා ඇර වෙන ආරාධිතයන් ඇවිත් හිටියෙ නැහැ. අම්මගෙයි තාත්තගෙයි අවුරුදු පනහක ඉතිහාස කතාව ඇහුවට පස්සෙ සුධාරිකාට ආදරය ගැන ආදරයක් ඇති වුණා. දෙන්නට දෙන්නා මොනතරම් උදව් කරගෙන තියෙනවද ? මෙහෙමත් ආදරණීය බැඳීම් ලෝකයේ තියෙනවද ? ඇයට සිතා ගැනීමට බැරි වුණා.

සුධාරිකා කාර්යාලයේ තරුණයාට කැමැත්ත දුන්නේ මිතුරියට ස්තුතිවන්ත වෙමින්.

එකම ආයතනයේ සේවය කිරීම කොහොම යුග ජීවිතයට බලපාවිද ? ඔහුට මනාපය දුන්නත් ඒ කාරණය සුධාරිකාගෙ හිතට වධ දුන්නා.

සුධාරිකාට විතරක් නෙවෙයි මේ වැඩි දෙනකුට තියන ගැටලුවක්. එක තැනක සේවය කරමින් සාර්ථක පවුල් සංස්ථාවක් පවත්වා ගෙන යන්නේ කොහොමද ?

එකම කාර්යාලයේ සේවය කරද්දි විරුද්ධ ලිංගිකයන් අතර ආකර්ෂණයක් ඇතිවීම අස්වාභාවික නැහැ. ගින්දරයි පුළුනුයි ළඟින් තිබ්බොත් ඇවිළෙන බව කියන්න ඕන නැහැනෙ. අද කාලයේ මෙවැනි ආදර සබඳතා සුලබයි. මෙබඳු

සබඳතාවකින් විවාහ වීම ද ඉතා සාමාන්‍යයි. සේවා ස්ථානයේදී බැඳෙන හාදකම්වල හොඳ පැත්තක් වගේම නරක පැත්තක් ද තියනවා. නරක පැත්තත් හොඳ පැත්තක් කරගන්න උත්සාහ ගත්තොත් මේ රන් රස සේ පෑහීමක්.

දෙතැනක සේවය කිරීමේදී එකිනෙකා සමඟ ගත කරන කාලය අඩුවෙනවා. ඔවුන්ට ඉතිරි වන්නෙ සති අන්තය විතරයි. සමහර නිවෙස්වල සතුට පෑල දොරින් පලා යන්නත් මෙය හේතු වෙනවා. ඒත් එක්ව වැඩ කරන විට දෙදෙනාට වැඩි කාලයක් එක්ව සිටීමට ලැබෙනවා. එවිට බැඳීම් වැඩි දියුණු වෙනවා. එය සතුට ගෙනෙන කාරණයක් වුණත් ප්‍රශ්න ඇති වීමටත් එයම හේතු වෙනවා.

-------------------------------------------------

එසේ ප්‍රශ්න ඇති නොවීමට නම්,

  •  නිවෙසේත් රාජකාරි ස්ථානයේත් වෙනස හඳුනා ගන්න.
  •  රාජකාරි ස්ථානයේදීි තමන් සැමියා හෝ බිරිය නොව සේවක සේවිකාවන් බව තේරුම් ගන්න.
  •  නිවෙසේදී රාජකාරි කටයුතු ගැන කතා නොකරන්න.
  •  විරාමයක් ගනිමින් විනෝද චාරිකාවක යෙදීමට කාලය වෙන් කරගන්න.
  •  එකිනෙකාට දුෂ්කර කාලවලදී එකිනෙකා වෙනුවෙන් සිටින්න.
  •  දෙදෙනා දෙදෙනාටම ගරු කරන්න.
  •  එකම ආයතනයක සේවය කරන විට නිවාඩු දින දෙදෙනාටම පොදු වෙනවා. ඒ නිසා සැලසුම් සාදා ගැනීම වඩාත් පහසුයි.
  •  මෙවිට එකිනෙකාගේ රාජකාරියට ගරු කිරීමට පහසු වෙනවා. උදවි කරගැනීමට ද ලේසියි. අනෙකාගේ රාජකාරිය ගැන හොඳ අවබෝධයක් ද තිබෙනවා. ඒ නිසා පහත් කිරීමක් සිදු වෙන්නේ නැහැ.
  •  එකිනෙකාට සහාය වෙමින් රාජකාරියේ යෙදීමට ඉඩ ලැබෙනවා. ඒ නිසා සේවා ස්ථානයට මෙවැන්නන් ආශීර්වාදයක්.
  •  නිවෙසත් සේවා ස්ථානයත් සමබරව පවත්වා ගෙන යාමට මේ අයට පුළුවන්.
  •  එකම කාලසටහන දිනපතා ක්‍රියාත්මක වීමෙන් ඇතිවන ඒකාකාරී බව නැතිකර ගැනීමට උනන්දු විය යුතුයි.
  •  සැම වෙලාවෙම එකට කාලය ගත කිරීම නිසා පෞද්ගලිකව ගත කිරීමට ලැබෙන්නේ අඩු ඉඩක්. ඒ ගැන ද මේ අය අවධානය යොමු කළ යුතුයි.
  •  එක් අයකුගේ උසස් වීමකදී ඊර්ෂ්‍යා නොකර හදවතින්ම සතුටු විය යුතුයි.
  •  කාර්යාල ගැටලු, පිල් බෙදීම්වලින් තම යුග දිවියට බලපෑමක් ඇති වීමට ඉඩ නොදෙන්න.
  •  ඊර්ෂ්‍යාව පෙරටු කරගනිමින් තරගකාරී නොවිය යුතුයි.
  •  ආයතනයක් ලාබ ලබන විට එහි වාසිය මෙන්ම ආයතනයක් පාඩු ලබන විට එහි අවාසිය ද එකම රැකියා ස්ථානයක සේවය කිරීමේදී විඳ දරා ගැනීමට මේ අයට සිදුවෙනවා.