ඔබේ සිහිනය සකුරා මල් පිපි ජපානයේ රැකියාවකට නම්...

ජනවාරි 15, 2020

ජපානය බොහෝදෙනා සංචාරය කරන්නට, රැකියාවක නියැළෙන්නට, ස්ථිර පදිංචියට යන්නට අදහස් කරන තාක්ෂණය අතින් ලොව ප්‍රමුඛ පෙළේ රටවල් අතරින් එකකි. ආසියා මහද්වීපයේ රටක් නිසා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජපානය පිළිබඳ සිහින මවමින් සිටියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ජපානයට ගොස් ශ්‍රමිකයන් ලෙස කටයුතු කිරීමේ දොරගුළු විවරව තිබේ..

2018 වසරේ ශ්‍රී ලංකාව, ජපානය සමඟ එක්ව අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව නව තාක්ෂණ සේවාස්ථ පුහුණු වැඩසටහන් යටතේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අභ්‍යාසලාභීන් ලෙස විවිධ වෘත්තීන්හි රැකියා සඳහා ජපානයට යොමුකිරීම (New Technical Inter Training Programme TITP) සිදු වේ.

ජපානයේ OTIT ආයතනය (Organization for technical Intons)  සමඟ කටයුතු කිරීම මඟින් මේ බඳවා ගැනීම් සිදුවේ. එම ආයතනය අනුමත කළ ජපානය තුළ ක්‍රියාත්මක වෘත්තිකයන් ගෙන්වා ගැනීම් සහ අධීක්ෂණය කරනු ලබන ආයතන සමඟ ගිවිසුම්ගතව කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවලට එම අවස්ථාව උදාවිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වලංගු බලපත්‍රලාභියකුට එවැනි ආයතනයක් සමඟ ගිවිසුම් අත්සන්කර බඳවාගැනීම් කළ හැකිය. මෙම ආයතන මොනවා ද යන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk  වෙබ් අඩවියේ සඳහන් වේ.

එසේ ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු, අලෙවිකරණ හා බඳවා ගැනීම්) වෙත එම ලේඛන බාරදී පෙර සඳහන් කළ OTIT හි අනුමැතිය ලබාගැනීමට කටයුතු කළ යුතුය. එමඟින් විදේශ රැකියා නියෝජිත ආයතනයකට යැවුම් ආයතන තත්ත්වය (sending organization)ලබාගත හැකියි.

කාර්යාංශය Sending Organization ලෙස කටයුතු කරන අන්දම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IMJapan  ආයතනය අතර ඇතිකරගත් ගිිවිසුම අනුව කාර්යාංශය විසින් තාක්ෂණික සේවා පුහුණු ක්‍රමය (TITP)  යටතේ පුහුණුලාභීන් ජපානයට පිටත් කරවීම සිදුකරනු ලැබේ. මේ වනවිට ඉහත ක්‍රමවේදය අනුගමනය කරමින් 150 කට අධික ශ්‍රමික සංඛ්‍යාවක් ජපානය වෙත යවා ඇත.

  •  කාර්යාංශය විසින් ජපන් භාෂා පාඨමාලා පවත්වයි.
  •  ලැබෙන ඇබෑර්තු ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව ඒ සඳහා භාෂා විභාගය සමත් අයට සහ දක්ෂතා සහිත වෙනත් අයට තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා අවස්ථාව ලබා දේ.
  •  ශාරීරික යෝග්‍යතා සහ ශාරීරික පරීක්ෂණවලින් සමත් අය සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කෙරේ.
  •  සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගනු ලබන අයට විදෙස්ගතවීමට පෙර පුහුණුවක් (පෙර විගමණික පුහුණුව) ලබාදේ. මෙය මාස 4ක නේවාසික පුහුණුවකි.
  •  ඉන්පසු වීසා සඳහා අදාළ ලේඛන සකස් කෙරේ.
  •  වෛද්‍ය පරීක්ෂණ සිදුකර වාර්තා ලබා ගැනේ.
  •  රැකියා ගිවිසුම් අත්සන් කිරීම
  •  ලියාපදිංචිය ලබාදීම
  •  ජපානය සඳහා පිටත් කරවීම සිදුකරයි.

 

උපදෙස් - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

මංගල රන්දෙණිය

 

2020/01/15 තරුණි බලන්න