ජාතික හැඳුනුම්පත ලබාගන්නේ කොහොම ද ?

ජනවාරි 29, 2020

පුද්ගලයකුගේ අනන්‍යතාව තහවුරු කරන ජාතික හැඳුනුම්පතේ විස්තරේ පසුගිය සති දෙකක් පුරාවට කතා කළා ඔබට මතක ඇති. මේ එහි තවත් එක් දිගහැරීමකි.

ජාතික හැඳුනුම්පත් අංකය

මුලින්ම අප සතුව තිබූ ඔබ නිතරම ඇස ගැටි හැඳුනුම්පතේ ස්වරූපය ඔබට මතක ද? එහි හැඳුනුම්පත් අංකය ඉලක්කම් 9 කින් යුතුව සහ අවසානයේ ඉංගී‍්‍රසි අකුරක් සහිතව. එහෙත් හැඳුනුම්පතේ සංශෝධනයනුත් සමඟින් එය ඉලක්කම් 12 කට පරිවර්තනය විය. පෙර පැවැති හැඳුනුම්පතේ ස්වරූපයටම ඉලක්කම් 12 ආදේශ වුණු පසුව එය ස්මාර්ට් කාඩ්පතක වූ හැඳුනුම්පතට ද ආදේශ විය.

මෙහිදී හැඳුනුම්පත් අංකය මුලට යෙදෙනුයේ උපන් වර්ෂයට අදාළ ඉලක්කම් හතර ය. අවසන් ඉලක්කම් හතරට පෙර බිංදුවක් එකතු විය. කෙසේ වෙතත්, උපන් දිනයේ සිදුවන වෙනසක් නිසා හෝ වෙනත් හේතුවක් මත අංකය වෙනස් වන්නේ නම්, එම හැඳුනුම්පත් අංකය වෙනස්වන අතර එවැනි අවස්ථාවල අවසන් ඉලක්කම් හතරට පෙර බිංදුවක් නොයෙදෙනු ඇත. එලෙස හැඳුනුම්පත් අංකය නව ඉලක්කම් සහිතව වෙනස්වන විශේෂ අවස්ථාවල පමණක් හැඳුනුම්පත් අංකය වෙනස් වූ බව සඳහන්කර අදාළ ආයතන වෙත යොමුකිරීමට දෙපාර්තමේන්තුව මඟින් ලිපි කිහිපයක් එම ඉල්ලුම්කරුවන් සඳහා නිකුත් කරන බව ද සිහිපත් කළ යුතුයි.

ජාතික හැඳුනුම්පත ලබාගන්නේ කොහොම ද?

ජාතික හැඳුනුම්පතේ සංශෝධනයත්, ස්වරූපයේ වෙනස්කම්, හැඳුනුම්පත් අංකය ඉලක්කම් 9, 12 ක් බවට පරිවර්තනය වූ අන්දම, ස්මාර්ට් හැඳුනුම්පත දක්වා කතා කළ අපි දැන් ජාතික හැඳුනුම්පත ලබාගන්නේ කෙසේ දැයි බලමු.

ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කළයුතු වයස් සීමාව

ඔබට මතක ද මීට දශකයකට දෙකකට පෙර ජාතික හැඳුනුම්පතකට ඔබ හිමිකම් කීවේ වයස අවුරුදු 18 එළැඹිය පසුවයි. නැතහොත් උසස් පෙළ පන්තියේ සිටින අතරතුරේ දීයි. 2016 අංක 08 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධිත පනතේ විධිවිධාන අනුව වයස අවුරුදු පහළොවට එළැඹ ඇති හෝ එළැඹෙන සියලුම ශ්‍රී ලාංකික පුරුවැසියන් වයස අවුරුදු 16 ඉක්මවීමට පෙර එනම් අවුරුදු පහළොවට එළැඹී වසරක් ඇතුළත අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පතට ඉල්ලුම් කළ යුතුයි. ජාතික හැඳුනුම්පත ලබාගැනීම පුරවැසි වගකීමක් මෙන්ම නීතිමය අවශ්‍යතාවක් බවක් සිතට ගත යුතුයි.

එම කාලසීමාවේ හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි වූවිට දී

යම් තැනැත්තෙක් අදාළ නියමිත වයස් සීමාව තුළදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකළහොත් ඔහු හෝ ඇය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 44(1) අ- වගන්තියට අනුව වරදකරුවකු වනවා සේම එම වරද සමථයකට පත්කිරීම සඳහා වරද සමථයට පත්කිරීමේ ගාස්තුවක් ද ගෙවීමට සිදු වේ.

එනිසා වයස අවුරුදු පහළොව සම්පූර්ණ කළ ද මේ වනවිට හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයන් විසින්, එසේ උචිත/නියමිත කාලය තුළ හැඳුනුම්පතක් ලබා නොගැනීමට හේතු ඇතුළත් ප්‍රාදේශීය ලේකම් වාර්තාව ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් සහතිකකර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කළයුතුයි. ඉල්ලුම්පත යොමු කළ යුතුවන්නේ ඊට අදාළ ගාස්තුව ගෙවන ලද බවට වන කුවිතාන්සිය ද ඇලවීමෙන් පසුවයි.

හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි ආකාර

* මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම

* අස්ථානගත වූ නොහොත් නැති වූ හැඳුනුම්පතක් වෙනුවට අනු පිටපතක් ලබාගැනීමට

* පවතින හැඳුනුම්පත පළුදුවීම, විකෘතිවීම, එහි ඇතුළත් තොරතුරු අපැහැදිලි හෝ වෙනස් වී තිබීම වැනි හේතු නිසා නව හැඳුනුම්පතක් ලබාගැනීමට ඉල්ලුම් කළ හැකියි.

වසර කිහිපයකට පෙර පැවැති ක්‍රමවේදයේ දී ඉහත ක්‍රම තුන යටතේ හැඳුනුම්පත් ලබාගැනීමට වෙන වෙනම ඉල්ලුම්පත් තුනක් පැවැතිය ද මේ වනවිට මේ ක්‍රම තුන සඳහා ම සම්පූර්ණ කළ යුතුවන්නේ එකම ඉල්ලුම්පතකි.

උපදෙස් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්

පී. වියානි ගුණතිලක

විශේෂ ස්තූතිය - මාධ්‍ය ඒකකයේ තුසිතා ධනසේකර මහත්මියට

 

2020/01/29 තරුණි බලන්න