සංවාද මඟින් සබඳතා රැක ගන්න..

පෙබරවාරි 5, 2020

කොතරම් දේ දිනුව ද ජීවිතය විඳීමට නම් පෞද්ගලික ජීවිතය දිනාගෙන තිබිය යුතුය. හැල්මේ දිවගොස් ජීවිතය දිනා ගත්තා යැයි සිතුවද ආපසු හැරී බැලීමේ දී තමා අතින් ගිලිහුණු දේ බොහෝ බැව් ඇතැම් අයට තේරෙන්නේ බොහෝ දුරක් ගිය පසුවයි. ඒ නිසා අප ජීවිතය දිනිය යුත්තේ අපේ පෞද්ගලික සබඳතා ද රැකගනිමිනි.

සබඳතාවක් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය වන ප්‍රධාන කාරණා තුනක් පවතී. ඉන් පළමුවැන්න වන්නේ සංවාදයි. දෙවැන්න සංවේදී වීමයි. තෙවැන්න සහයෝගයයි.

සංවාද යැයි කියූ විට අපේ සිතට නැඟෙන්නේ කොපමණ වේලාවක් කතාබහ කරනවාද යන්නයි. කතා බහේ දී අප සිතන්නේ තමා වැඩියෙන් කතා කිරීම සංවාදය බවයි. නමුත් මෙය සංවාදයක් වීමට නම් කතාබහ කරන විට අනෙක් පුද්ගලයා හොඳ ඇහුන්කන් දෙන්නෙකු විය යුතුයි. ඇහුම්කන් දෙනවිට අනෙක් පුද්ගලයා 'මොනවද මෙයා කියන්නේ..., මෙයා කියන එකට මම මොනවද දෙන උත්තරේ..' යැයි සිතමින් සිටියහොත් අනෙකා පවසන දේ නෑසෙයි.

එමෙන්ම අපි කතාබහ කරන විට එයට හොඳින් ඇහුම්න්කන් නොදී සිටියහොත්, අවධානය වෙනතක යොමුකොට අසා සිටියහොත් අනෙකා පවසන දේ පැහැදිලි වන්නේ නැත.

එමනිසා සාවධානව ඇහුන්කන් දීම සිදු කළ යුතුය. සාවධානව ඇහුම්කන් දීම ලෙස පවසන්නේ සියලුම ඉන්ද්‍රියයන්ගෙන් ම මෙයට අනුගත වී ඇසිය යුතුය. බාහිර ඉන්ද්‍රියයන් වන ඇසෙන්, කනෙන් මෙන්ම අභ්‍යන්තරව සිතෙන් යන තුනෙන් ම මේ කාර්යය සිදු කළ යුතුය.

මුහුණට මුහුණ කතා බහ කිරීමේ දී මෙන්ම වීඩියෝ කෝල් එකකින් ඔබ කතා බහේ යෙදී සිටීමෙන් අනෙක් පුද්ගලයාගේ මුහුණ හොඳින් පෙනෙන්නට තිබේ. එම නිසා කතාබහේ දී ඇස ද යොමු කිරීම වැදගත් වන්නේ අනෙක් පුද්ගලයා කතා කරන දෙයට අනුව මුහුණේ සිදුවන ඉරියව් ද නිරීක්ෂණය කළ හැකි නිසයි. ඇතැම් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයන් පවා ප්‍රවෘත්තිය පවසා අවසානයේ දී ඔහුගේ හෝ ඇයගේ මුහුණ දෙස බැලීමේ දී මුහුණෙන් යම් ප්‍රමාණයකට එම ප්‍රවෘත්තිය පිළිබඳ නිවේදකයාගේ මතය පෙන්නුම් කෙරෙන අවස්ථා බහුල ය. සන්නිවේදනයේ දී කෙරෙන බොහෝ දේ අප විසින් අවබෝධ කරගත යුතුය. ඇතැම් විට අංග චලන සිදුවන ආකාරය අනුව පවසන දෙයට වෙනස් දෙයක් ඇඟවිය හැකිය. මෙය වෙනම විෂයයකි.

කෙසේ වුවත් යම් කිසි සම්බන්ධයක් ඇති දෙදෙනකු තුළ, කතාබහ කිරීමේ දී අවධානය රඳවා සිටීම මෙම සබඳතාවය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට පිටිවහලක් වේ.

අනෙක් පුද්ගලයා අපට හොඳින් ඇහුම්කන් දෙනවාදැයි තහවුරු කරගැනීම මඟින් අනෙක් පුද්ගලයාට කතා කිරීමට දිරියක්, උත්තේජනයක් ලැබේ. එහෙත් අනෙකා අපට හොඳින් ඇහුන්කන් දෙනවාදැයි දැන ගන්නේ කෙසේදැයි ඔබ සිතනවා ඇති. බොහෝ විට හොඳින් ඇහුන්කන් දෙන පුද්ගලයා අනෙකාගේ කතාවේදී හූ මිටි තබයි. එමෙන්ම හොඳින් ඇහුන්කන් දෙන පුද්ගලයා අනෙක් පුද්ගලයාගෙන් පවසන දේ පිළිබඳ ප්‍රශ්න අසයි. ඇහුකන් දුන් පුද්ගලයා විසින් 'දැන් මම කියන්නද ඔයා මට කියපු දේ මට තේරුණු හැටි..' ලෙසින් පවසා පැවසූ දෙයෙහි සාරාංශයක් පැවසීම ද හොඳින් ඇහුම්කන් දුන් බවට සාක්ෂියකි.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

2020/02/05 තරුණි බලන්න