ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍රය පිරවීමටයි මේ සූදානම

පෙබරවාරි 5, 2020

ඔබේ අනන්‍යතාව සුරක්ෂිත කරවන ජාතික හැඳුනුම්පත ලබාගැනීමේ ක්‍රියාවලියේ දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කරන මෙහෙවර සුළුපටු එකක් නොවේ.

නොයෙකුත් වෙනස්කම්වලට බඳුන් වෙමින් පැමිණි ජාතික හැඳුනුම්පත දැන් ඔබ අතට පත්වනුයේ සුහුරු හැඳුනුම්පතක් (ඵථචපබ ධ්ච්) ලෙසිනි. මීට වසර කිහිපයකට පෙර හැඳුනුම්පත් ලබාගත් අය දැන් ජාතික හැඳුනුම්පත් ලබාගන්නේ නම් වෙනස්ම ක්‍රමවේදයන් කිහිපයකටම අනුගත විය යුතු වේ.

මුල්වරට හැඳුනුම්පත් ලබාගැනීමේ දී

වයස අවුරුදු 15ට එළැඹී වසරක් ඇතුළත මේ සඳහා ඉල්ලුම් කළ යුතුවේ. මේ අනුව එම වයසේ පසුවන පාසල් ඉල්ලුම්කරුවන් විදුහල්පති හෝ පරිවේණාධිපතිවරු මඟින් ඉල්ලුම්පත් යොමු කළ යුතුයි. පාසල් ඉල්ලුම්කරුවන් නොවන අනෙකුත් පුද්ගලයන් මුල්වරට හැඳුනුම්පතක් ලබාගන්නේ නම් ග්‍රාම නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් හරහා හෝ වතු ආශි‍්‍රතව ජීවත්වන ජනතාව වතු අධිකාරීවරයා මඟින් අදාළ ඉල්ලුම්පත දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

සෑම වසරකම පාහේ මුල්වරට ලබාගන්නා හැඳුනුම්පත් ලක්ෂ 3 ක් පමණ නිකුත් කෙරෙන බැවින් මේ වසරේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉල්ලුම්පත් මාර්තු 31 ට පෙර විදුහල්පති හෝ පරිවේණාධිපති මඟින් දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු වේ.

නැති වූ හෝ සංශෝධනය කළයුතු හැඳුනුම්පත් සඳහා අනුපිටපත් ලබාගැනීමේ දී

ග්‍රාම නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් හරහා, වතු ආශි‍්‍රතව ජීවත්වන ජනතාව වතු අධිකාරීවරයා මඟින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ඊට අදාළ අනෙකුත් ලේඛන සමඟ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.

ජාතික හැඳුනුම්පත ලබාගැනීමට ඉදිරිපත් කළයුතු ලේඛන නිසි ලෙස සම්පූර්ණ කරන ලද

ඉල්ලුම්පත පැහැදිලි අත් අකුරින් ක්‍රමවත්ව හා නියමාකාරයෙන් සම්පූර්ණ කිරීමට වගබලා ගත යුතුය. නම, උපන් ස්ථානය සහ ලිපිනය යන තොරතුරු මවු භාෂාවෙන් (සිංහල/දෙමළ) මෙන්ම ඉංගී‍්‍රසි භාෂාවෙන් නිවැරැදිව සඳහන් කිරීම අනිවාර්ය වන අතර එසේ නොවන ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වන බව සැලකිල්ලට ගන්න.

ඉල්ලුම්කරු විසින් සියලු තොරතුරු නිවැරැදි බව සහතිකකර අදාළ කොටුවේ නිසි පරිදි සිය අත්සන හෝ ඇඟිලි සලකුණ තබා ගැනීමට වගබලාගත යුතු වේ. එසේම ඉල්ලුම්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුවන්නේ ග්‍රාම නිලධාරී අත්සන හා නිලමුද්‍රාව මෙන්ම සහතික කිරීමේ නිලධාරියාගේ අනු අත්සන හා නිලමුද්‍රාව යෙදීමෙන් අනතුරුවයි.

ඉල්ලුම්පතට අමතරව ඉදිරිපත් කළයුතු ලේඛන නම්

* අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් විසින් සහතික කරන ලද මෑතකදී ගනු ලැබූ පැහැදිලි උප්පැන්න සහතිකයක මුල්පිටපතක්

* විදේශයක උපත ලද ඉල්ලුම්කරුවන් නම් පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ වන පුරවැසි සහතිකය.

* ද්විත්ව පුරවැසිභාවය ලද ඉල්ලුම්කරුවකු නම් ද්විත්ව පුරවැසි සහතිකය (ච්භචත ඛ්ඪබඪලඥදඵඩඪන ජඥපබඪටඪජචබඥ)

* මෙහිදී පුරවැසි පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලැබූ දින සිට මාස 6 ක් ඇතුළත හැඳුනුම්පත ලබා ගත යුතුවනවා.

* පුරවැසි පනතේ 19(3) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලැබූ අයෙක් නම් පැරැණි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු අතර එය අස්ථානගත වී ඇත්නම් ඒ පිළිබඳ සඳහන් කළ පොලිස් පැමිණිල්ලේ පිටපතක් ඉදිරිපත් කළයුතු වනවා.

හැඳුනුම්පත නැති වූ විට සහ සංශෝධනය කිරීමට ඉදිරිපත් කරනු ලබන හැඳුනුම්පතක් තොරතුරු අපැහැදිලි වූ විට, ඉල්ලුම්කරුවන් විසින් තමන් එම හැඳුනුම්පත් අංකය භාවිත කළ බවට වන පිළිගත හැකි ලිඛිත සාක්ෂි කිහිපයක් එනම් විදෙස් ගමන් බලපත්‍රයේ හැඳුනුම්පත් අංකය සඳහන් පිටුව, රියැදුරු බලපත්‍රය, බැංකු පාස් පොතක මුල්පිටුව යනාදියේ සහතික කිරීමේ නිලධාරියා විසින් සහතික කළ ඡායාපිටපතක් ඉදිරිපත් කිරීම හැඳුනුම්පත් අංකය තහවුරු කරගැනීමට ඉතා වැදගත් වේ.

එසේම ඉහත ලේඛන නොමැති ඉල්ලුම්කරුවන් මෙන්ම උප්පැන්න සහතිකයක් නොමැති ඉල්ලුම්කරුවන් ද තමාගේ නම, උපන්දිනය, ලිපිනය, හැඳුනුම්පත් අංකය යනාදී මූලික ජීවදත්ත තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි ලෙස

* උප්පැන්න සහතිකයෙන් උපුටාගත් සටහන

* අනුමාන වයස් සහතිකය

* විවාහ සහතිකය

* දරුවන්ගේ උප්පැන්න සහතික

* පැරැණි හැඳුනුම්පතේ ඡායාපිටපතක්

* ඡන්ද හිමි නාමලේඛනයේ පිටපතක්

* පාසල් හැරයෑමේ සහතිකය

* වැඩිහිටි හැඳුනුම්පත

* විදෙස් ගමන් බලපත්‍රයේ, රියැදුරු බලපත්‍රයේ, බැංකු පාස්පොතක නම හා හැඳුනුම්පත් අංකය සඳහන් පිටපත්

* වතු හැරයෑමේ සහතිකය

 

යනාදී ලිඛිත සාක්ෂවලින් කිහිපයක් සමඟ විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

හැඳුනුම්පත නැති වූ කෙනකු නම් ඒ පිළිබඳ සඳහන්කර ලබාගත් පොලිස් ස්ථානාධිපතිගේ නිලමුද්‍රාව සහ අත්සන සහිත පොලිස් පැමිණිල්ලේ පිටපතක් ඉදිරිපත් කළයුතුයි.

හැඳුනුම්පත පළුදුවීම, විකෘති වීම, එහි ඇතුළත් තොරතුරු අපැහැදිලි හෝ වෙනස් වී තිබීම වැනි හේතු නිසා සංශෝධනය කරනවා නම් මෙතෙක් භාවිත කළ තම හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු අතර එය අවසන්වරට ලබාගත් හැඳුනුම්පතම විය යුතු වනවා.

 

උපදෙස් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්

පී. වියානි ගුණතිලක

 

විශේෂ ස්තූතිය - මාධ්‍ය ඒකකයේ තුසිතා ධනසේකර මහත්මියට

 

2020/02/05 තරුණි බලන්න