එක්දින සේවයෙන් ජාතික හැඳුනුම්පත ලබා ගන්නේ මෙහෙමයි

පෙබරවාරි 12, 2020

ඉල්ලුම්පත් භාරගැනීම පෙ.ව. 7.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා

එක්දින සේවය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවාලාභීන් ප්‍රථමයෙන්ම එහි බිම් මහලේ පිහිටි සංහිඳ පරිශ්‍රයට යොමු වී පැමිණි අනුපිළිවෙළින් අංකයක් ලබාගත යුතු අතර බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට උදෑසනින්ම දෙපාර්තමේන්තුවට පැමිණෙන ඉල්ලුම්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බැවින් ඒ සියලුදෙනාට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණෙන් පෙරවරු 7.30 වනවිට ඉල්ලුම්පත් භාරගැනීම ආරම්භ කරනු ලබයි.

දිනකට විශාල මහජනතාවක් පැමිණීම හේතුවෙන් එක්දින සේවය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මධ්‍යහ්න 12.00 ට අවසන් කරන අතර, එදිනට භාරගනු ලබන සියලුම ඉල්ලුම්පත් සඳහා හැඳුනුම්පත් නිකුත්කර අවසන් වන තුරුම එක්දින සේවා කාර්යාල මණ්ඩලය රැඳී සිටිනු ඇත.

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ සේවය සඳහා බොහෝ කලක් මහජනයා පැමිණියේ ජාවත්තේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙතයි. මේ වනවිට එය බත්තරමුල්ලේ සුහුරුපාය නම් ගොඩනැගිල්ලේ පිහිටා තිබේ.

එහි ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ සාමාන්‍ය සේවය සහ එක්දින සේවය ඇතුළු ජාතික හැඳුනුම්පත සම්බන්ධ සියලුම කර්තව්‍යයන් සිදු වේ.

ප්‍රාදේශීය කාර්යාල සහ පළාත් කාර්යාල

බොහෝ කලක් අගනගරයට සීමා වූ ජාතික හැඳුනුම්පත් නිකුතු කිරීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය හා පළාත් කාර්යාල පිහිටුවා ඒ ඔස්සේ ද සේවාවන් ලබාගැනීමේ පහසුකම් සලසා ඇත.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කර ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල ඍර්‍ථව් තාක්ෂණය ඔස්සේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය සමඟ ජාලගතව සම්බන්ධ කර ඇත. එවැනි ශාඛා කාර්යාල 332 ක් ඔස්සේ කාර්යක්ෂමව මහජන සේවාවන් සැපයීමේ අවස්ථාව උදාවී ඇත.

එම ප්‍රාදේශීය ශාඛා කාර්යාල අධීක්ෂණය හා පහසුකම් සැලසීම සඳහා පළාත් කාර්යාල පිහිටුවීමටත් කටයුතු සිදුකර ඇත. වයඹ පළාත සඳහා කුරුණෑගලත්, උතුරු පළාත සඳහා වවුනියාවේත්, නැගෙනහිර පළාත සඳහා මඩකලපුවේත්, දකුණු පළාත සඳහා ගාල්ලේත් පළාත් කාර්යාල පිහිටුවා තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාත් කාර්යාල ඉදිකෙරෙමින් පවතින අතර සෙසු පළාත් සඳහා ද පළාත් කාර්යාල පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

 

විශේෂ ස්තූතිය

මාධ්‍ය ඒකකයේ

තුසිතා ධනසේකර මෙනවියට

2020/02/12 තරුණි බලන්න