ගැටලුවලට විසඳුම් සෙවීමට නිසල මනසක්..

මැයි 25, 2020

ප්‍රශ්න නැති අයෙක් සොයාගත නොහැකිය. සෑම පුද්ගලයකුට ම විවිධාකාර වූ ගැටලු පැන නගී. මෙය සාමාන්‍ය ලෝක ස්වභාවයයි. එහෙත් ඇතැම් ගැටලු අපට ඉතාමත් අධික ලෙස පීඩා කරයි. එමෙන්ම ඇතැම් ගැටලුවලට විසඳුම් සෙවීම අපහසු ය.

අප පසුගිය සතියේ කතා කළ කරුණු අතර තමාට ඇති ගැටලු නිවැරැදිව විසඳා ගැනීමට අපහසු වන්නේ ඇයිදැයි විමසීමක් සිදු කළා ඔබට මතක ඇති. මෙහිදී බොහෝදෙනා තමා විසින් ම මනසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක තමා ද චරිතයක් වී ඇති නිසා ගැටලුවලට නිසි පිළියම් සොයාගත නොහැකි වී ඇති බව ඔබට පැවසුවෙමු. ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා අද අපි ඔබට ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නෙමු.

අප යම් ගැටලුවක් තුළම සිටිනතාක් විසඳුමක් අසලකවත් ඇති බව නොපෙනේ. එහෙත් ගැටලුවක් ඇති අයකුගෙන් ඉන් ගොඩ ඒම සදහා කරඇති පිළියම්, යෝජනා කරඇති පිළිතුරු පිළිබඳ ඇසුවහොත් ඔහු හෝ ඇය ප්‍රශ්නය තුළම සිටිනවා විනා එවැනි යම් පිළියමක් සිදුකර නොමැති බව බොහෝවිට දක්නට ලැබෙන්නකි.

අපේ සිතේ නිතර සිතුවිලි පැන නඟිින්නේ එකක් පසුපස එකක් ලෙසිනි. යම් විටෙක තමා භයානක සිතිවිල්ලක් සිතේ තබාගෙන සිටින විට, කිසියම් මොහොතක තමා මේ යමක් මවාගෙන සිටින බව දැනුණු හොත් තමා එම භූමිකාවෙන් ක්ෂණිකව ඉවත් වේ.

ඇතැම් අයට කේන්ති ගිය විට "මගෙ යකා අවුස්සන්න එපා.., මෙතන නෙවෙයි නම් මම දනී කරන දේ.." ලෙස පවසයි. යමෙක් දුකින් සිටින විට යහළුවෙක් විහිළුවක් කළත් ''මම මේ අප්සට් එකේ ඉන්නවා .. ඔයා එනව විහිළු කරන්න..'' ලෙසින් පවසයි. ඇතැම් විට ඔහු හෝ ඇය එය පවසන ස්වරය අනුව යහළුවා අමනාප වීමට ද හැකිය. එසේ වුවහොත් ඔබේ ගැටලු තවත් සංකීර්ණ විය හැකිය. එමෙන්ම අප තේරුම් ගත යුත්තේ අප මානසිකව වැටී ඇති මොහොතේ සතුටින් සිටීමට කටයුතු කිරීම සුදුසු ම දේ බවයි.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

2020/06/03 තරුණි පුවත්පත බලන්න.