බීමත් සැමියාගේ පහරදීම් ඉවසන්නම බැරි තැන ඇය ගත් තීන්දුව..

ජූලි 8, 2020

සීතා, සෝමපාල සමගින් යුගදිවි ගමන් ඇරැඹුවේ ප්‍රේමය ඉහවහා ගිය හැඟුමකින් විනා අනාගත සැලසුම් කිසිවක් ඇතිව නම් නෙවෙයි. මේ නිසා විවාහ වෙලා ටික දවසක් යද්දී ටිකෙන් ටික ප්‍රශ්න ඇතිවුණා.

ඒ අතරේ තුන්වැන්නෙක් පවුලට එකතු වුණේ ආර්ථික ප්‍රශ්න අහස උසටම තිබියදී. දෙන්නා දෙමහල්ලන්ගේ ආදර හැඟුමන් වෙනදා මෙන් නැවුම් එකක් වුණේ නැහැ. ප්‍රශ්න වලින් මිදෙන්න සෝමපාල කළේ මධුවිතට ළංවීමයි. එහෙම දාට ආර්ථික ප්‍රශ්න කෙළවර වෙන්නේ රණ්ඩු සරුවල්වලින්. මුලදී මාසයකට වතාවක්, සති දෙකකට වතාවක් පැවැති මේ රණ්ඩු සරුවල් දවස ගාණේ ඇතිවන තරමටම දරුණු වුණා. මේ සියල්ල අතරතුරේ තවත් දරුවන් දෙදෙනෙක්ම පවුලට එකතුවුණු නිසා ඇතිවුණු ආර්ථික අපහසුතා පිළිබඳ කවර කතාද?

මොනතරම් ආර්ථික අපහසුතා තිබුණත් ගෙදර පිරිමියාගේ බීමත්කමේ අඩුවක් නොවීම සීතාගේ පවුලටත් පොදු කාරණයක් වුණා. විකෘති කාමාශාවන්ගෙන් පිරුණු සෝමපාලට ඒ සඳහා අවස්ථාවක් සීතාගෙන් නොලැබුණොත් එය පළමුව බහින්බස් වීමක් දෙවැනුව රණ්ඩුවක් බව නම් ඉර පායනවා වගේ සිදුවන්නට වුණා..

දැන් ලොකු දෝණිට අවුරුදු 14,15 ක් වන නිසා අම්මගෙයි තාත්තගෙයි පලහිලව් හොඳටම තේරෙනවා. මේ හින්දමයි සෝමපාලව මගහරින්න සීතා කටයුතු කරන්නේ.

එදා නම් සීතාත් කටගහගෙන ගිය නිසා ඉවසුම් නැති කේන්තියකින් සිටි සෝමපාල හැඩි දැඩි අත්වලින් ඇයට පහර දුන්නා. වේදනාවෙන් කෑගසන සීතාට සෝමපාල වැරෙන් එල්ල කළ පහර සීතා ගේ යටිබඩේ වැදුණා. වීසිවෙලා ගිය ඇය බිම ඇද වැටුණෙ සිහි මුර්ජා වෙලාමයි.

සීතාට සිහිය එනකොට හොඳටම රෑවෙලා. පහර වැදුණු තැන් වල තැල්මවල් වේදනා දෙනවා. මුහුණ කට තොල් පිපිරිලා. සෝමපාල වෙරිමතින් හොඳ නින්දකට වැටිලා. එක එක දරුණු සිතිවිලි සිතට ආවත් ඇය දරුවන් ගැන සිතුවා.

එහෙත් හැමදාම මේක කරන්න පුළුවන්ද? මෙහෙම ගහන කොට මැරිලා ගියොත් දරුවන්ට යන කල මොකක්ද? ඉවසපු තරම් නම් හොඳටම ඇති කියලා සිතුණු ඇය මහ රෑ කියලා බලන්නේ නැතිව 1938 අංකයට ඇමතුමක් ගන්න තීරණය කළා. මීට කලින් රූපවාහිනියෙන් විකාශය වුණු වැඩසටහනකින් මේ අංකය ලියා ගත්තේ මේවගේ අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නමයි.

මේ කාන්තා කාර්‍යාංශයේ හදිසි කෙටි දුරකතන අංකය නාද වෙනවා. එහා කෙළවරින් ඇසුණේ කාන්තා කටහඬක්. හෙලෝ යනුවෙන් ඒ කාරුණික වදන් ඇසෙද්දී ඇයට හැඬුම් ආවා.

"අනේ මිස් මට කොයි විදිහකට හරි පිහිට වෙන්නකෝ. මම අවුරුදු ගානක් තිස්සේ මගේ මිනිහා නිසා දුක් විඳීනවා. දැන් ඉවසන්නම බැරි තරම්. එක මොහොතක්වත් තව නම් මේ මිනිහා එක්ක ඉන්න බැහැ. මගේ දරුවෝ තුන්දෙනත් එක්ක මම හරිම අසරණයි. යනඑන මං නැති තරම්."

"ඔයා හෙට උදේ වෙනකම් කොහොමහරි ඉවසගෙන ඉන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔයා දරුවෝ තුන්දෙනත් එක්ක හෙට උදේම එන්න. දවස් කිහිපයකට සෑහෙන්න ඇඳුම් ටිකක් අරගෙනම එන්න ඕන. අපි ඔයාට අවශ්‍ය රැකවරණය දෙන්නම්."

 

විශේෂ ස්තූතිය

කාන්තා කාර්‍යාංශයේ අධ්‍යක්ෂිකා

චම්පා උපසේන මහත්මියට

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.