විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි වී රන් පියාපත් ලබන්න

ජූලි 8, 2020

පවුලේ ජීවය අම්මා. අපේ රටේ කුටුම්භය තුළ ඇය යකඩ ගැහැනියක ලෙස හැඳීන්වුව ද වරදක් නොවේ. ඒ ඇය පවුලේ සියලු බර කරට ගෙන කටයුතු කරන නිසාය. අතීතයේ මේ අම්මාට බොහෝවිට තිබුණේ ස්වාමියා උපයාගෙන එන දෙය අරපිරිමැසුමෙන් යුතුව, නිසි ලෙස කළමනාකරණය කර පවුල ගොඩ නැගීමයි.

සැමියා දරුවන් ඇතුළු පවුලේ සැමගේ පෝෂණය, සෞඛ්‍යය මෙන්ම ගේ දොර වැඩි දියුණු කරන දෙය පවා ඇය හරිම අපූරුවට කළාය. වත්තේ පිටියේ කුඹුරේ වැඩ කටයුතුවලටද සහාය දෙමින් පවුලේ ආර්ථිකය නංවන්නට ද ඇය සැමියාට සහාය දුන්නාය. කාලය ගතවී ලෝකයම වෙනස් වෙද්දී අපට ද එයට පිටු පාන්නට නොහැකි වුණා. ඉඩ කඩම් සීමාවීම වැනි කරුණුත්, ජීවන වියදම වැඩිවිමත් වැනි බොහෝ කරුණු සමඟ බොහෝ පවුලේ ආර්ථිකය ගොඩ නංවා ගන්න එක ප්‍රශ්නයක් වුණා. මේ ආර්ථිකය හසුරුවන එක සැමියාට පමණක් කරන්නට බැරි තත්ත්වයක් ඇතිවුණා. ඇතිවුණු මේ සමාජ පෙරළියත් එක්ක ‘අම්මා‘ වරුන්ට රැකියාවක් කරන්නට සිදුවුණා. සැමියා සහ බිරිය දෙදෙනාම රැකියා කරන එක සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙද්දී අලුත් බලාපොරොත්තු ගොන්නක් පවුලට එකතු වුණා. ඒ විතරක් නෙමෙයි තමන්ගේම කියලා ගෙයක් දොරක් හදාගන්න, ගමන් බිමන් යන්න වාහනයක් ගන්න යහමින් මුදල් හදල් ඕන වුණා. මේ විදිහට කාන්තාවන් එතෙර රැකියාවලට යන්න පටන් ගත්තේ වැඩිපුර මුදල් හම්බකරන්න හැකිවුණු නිසා. කාන්තාවන්, මවුවරුන් වැඩි පුරම ගියේ මැද පෙරදිග රටවල ගෘහ සේවය සඳහා. මුල් කාලයේ එහෙම ගිය අය යළි මවුරටට ආවේ අතමිට කාසි පොදි බැඳ ගෙන. ඒත් ඒ මුදල් හම්බ කළේ මොනතරම් නම් දුෂ්කර ලෙස සේවය කරලා ද කියලා දන්නේ ඔවුන් පමණයි.

දහසක් සිහින පොදිබැඳගෙන ඉසුරු සොයා විදෙස් ගත වන අයට උසුලන්නට වන දුක් කඳුළු මහමෙරකි තරම් කියලා දැන් අපි දන්නවා. ඒ බොහෝ කාන්තාවන් මෙරටට පැමිණි පසු හෙළිකරන අත්දැකීම් නිසා.

දයාබර මවුපියන්, ආදර සැමියා, සෙනෙහෙබර දරුවන් දමා හිතේ කප්පරක් බලාපොරොත්තු පොදි බැඳගෙන විදෙස් ගත වුණත් ඒ බලා පොරොත්තු බිඳ වැටුණොත්? එහෙම වෙන්න හේතුව මොකක්ද? ඒකට ප්‍රධානම හේතුව ඇය විදෙස් මුදල් සොයා මේ ගමන යන්නේ හරි මාර්ගයකින් නොවීමයි. ඉක්මනින් විදෙස් ගත වන්න හිතෙන කෙටි පාරවල් සොයන ඇයට අත්වන ඉරණම භයංකරය.

අද පටන් තරුණී අරඹන මේ අලුත්ම විශේෂාංගය තුළින් ගෙන එන්නේ එතෙර ඉසුරු සොයා ගිය කතුන්ගේ ජීවන අත්දැකීම්ය. ඔබ එය අත්දැකීමක් කරගෙන බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. පිට රට යන්න හිතන හැමෝටම මුලින්ම මතක් වන්නේ ඒජන්සියක්. කනකර උකසට තබා ගන්නා මුදල ලබා ගන්නා ඒජන්සිකරු ඉක්මනින් කුමන හෝ රටකට පිටමං කරයි. ඉන් එහාට වගකීමක් නැත. පඩි ලැබෙන්නේ ද නැත.ඥාතීන්ට ඇය ගැන තොරතුරක් ද නොමැත මෙරටින් ගිය කතුන්ගේ කඳුළු කතා කියැවෙන්නේ එලෙසිනි.එහෙත් ඔබ තවදුරටත් අනාරක්ෂිත නැත. අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වීම පමණි.

 

ස්තූතිය:- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රචාරණ

ජගත් බටුගෙදර

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.