ඉමෝ තාක්ෂණයෙන් නිරුවත පෙන්නූ පොලිස් නිලධාරියා මට්ටු කළ කාන්තාවගේ අපූරු නුවණ

සැප්තැම්බර් 9, 2020

 

කුඹුරක් ආරක්ෂා කරගන්නට නියරක් තිබිය යුතුමය. එලෙසින්ම වැටකින් සිදුවන්නේ ද ගොයම ආරක්ෂා කර ගැනීමය. මේ දෙකම ගොයම විනාශ කරයි නම් එයින් ඇති ප්‍රයෝජන කුමක්දැයි විමසිය යුත්තේ කාගෙන්දැයි අපට පැනයකි.

මෙලෙසින්ම අපේ රටේ ආරක්ෂාව හා නීතිය ආරක්ෂා කිරීමට ඇති ප්‍රධානතම ආයතනය වන්නේ පොලීසියයි. රටේ සිවිල් සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින පොලීසියේ සෑම නිලධාරියකුගෙන්ම එක අයුරින් තම රාජකාරිය ඉටු වන්නේද? මෙය ඇතැම් සිදුවීම් හමුවේ අපට ඇතිවන ප්‍රශ්නාර්ථයකි.

පසුගිය දිනක අපට අසන්නට ලැබුණු සිදුවීමක් හමුවේ එය එලෙසින් සිතේ. නමුත් රාජකාරිය හා තනතුර කුමක් වුවත් අප රටේ නීතිය සැමටම එක ලෙසින් ක්‍රියාත්මකවන බවට පෙන්වා දෙන්නට එම සිද්ධිය කදිම සාක්ෂියකි. එසේම එම සිදුවීම තුළින් නවීන තාක්ෂණය අනිසි ලෙස භාවිතයෙන් සිදුවන භයානක විපාක ගැන ද සිහි ගන්වයි.

මේ අනිසි ලිංගික බලපෑම කාන්තාවකට සිදුවන්නේ නවීනතම ඉමෝ තාක්ෂණය යොදා ගනිමිනි. ජංගම දුරකතනයෙන් ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වීම නිසා මෙලෙසින් වැඩ තහනමකට ලක්වන්නේ පානදුර කොට්ඨාශ අපරාධ විමර්හන අංශයේ වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පරීක්ෂකවරයෙකි. සිදුවීම පිළිබඳ පොලීසියේ උසස් නිලධාරියකු හට වාර්තා වෙන්නේ පානදුර ප්‍රදේශයේ කාන්තාවක ගෙනි. මේ පොලිස් පරීක්ෂකවරයා නානකාමරයක සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ තමුනගේ නිරුවත පෙන්වා අයුතු යෝජනාවක් කළ බවට පැමිණිලි කිරීමෙන් පසු කරන ලද විමර්ශනයකින් අනතුරුව ඔහුගේ වැඩ තහනමට ලක්කළ බව සහකාර පොලිස් අධිකාරී ඩී. යූ. ඩී. අමරතුංග මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ්ය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කරන බැවින් වැඩිදුර විස්තර ලබාදීමට නොහැකි බව ද ඔහු සඳහන් කළ අතර සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිි විස්තර ලබාගැනීම සදහා පොලිස් මාධ්‍ය අංශයෙන් විමසන ලෙස සඳහන් කරන ලදී.

මේ සිදුවීම පිළිබඳ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොලිස් පරීක්ෂකවරයා නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවී ඇත්තේ පමුණුගම ප්‍රදේශයේ පදිංචි මේ කාන්තාව ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔහු ඉමෝ තාක්ෂණය ඔස්සේ නිරුවත පෙන්වන අවස්ථාවේදී පැමිණිලිකාරිය වහාම ක්‍රියාත්මක වී එහි ඡායාරූප කිහිපයක් ජංගම දුරකතනයේ සටහන් කරගෙන තිබේ. ඇය පැමිණිල්ල ඉදිරිපත් කිරිමේදී සාක්ෂියක් ලෙස මේ ඡායාරුප ද පොලීසියට ඉදිරිපත් කිරීම එය පැහැදිලි වරදක් බව ඔප්පු කිරිමට සාක්ෂියක් වී ඇත.

ඇය මේ පොලිස් පරීක්ෂකවරයාට තම ජංගම දුරකතනයේ අංකය ලබා දී ඇත්තේ ඔවුන් අතර ඇති වූ යම් සුහදතාවයකිනි. ඇයගේ සහෝදරයා මැතදී විදේශ රටක සිට ලංකාවට පැමිණ තිබේ. එසේ පැමිණෙන ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වී තිබෙන්නේ මේ නිලධාරියාටය. පසුව ඔහු රිමාන්ඩ් භාරයට පත් වී තිබේ. එයින් දින කිහිපයකට පසු ඔහු පැමිණිලිකාර කාන්තාව සමග ජංගම දුරකතනයෙන් පණිවුඩ හුවමාරු කරගනිමින් සුහහදත්වයක් ඇතිකරගෙන තිබේ. මෙලෙසින් සුහදත්වය ඇතිකරගත් පොලිස් නිලධාරියා ඇයට අනිසි ලෙස මෙවැනි ලිංගික බලපෑමක් සිදු කිරීම සඳහා ඉමෝ තාක්ෂණය යොදා ගන්න ඇත්තේ නීතියේ රැහැනට හසු නොවන උපක්‍රමයක් ලෙසිනි.

එහෙත් ෙමි නිලධාරියාට වඩා සූක්ෂම වූ කාන්තාව එම වීඩියෝ දර්ශන තම ජංගම දුරකතනයේ පටිගත කර ගැනීමට සමත්ව ඇත. ඇයට නීතිය හමුවේ මේ සාක්ෂි ඉතාමත් ප්‍රයෝජනවත් වී ඇත්තේ ස්ථානෝචිත ප්‍රඥාවට අනුව කටයුතු කිරීම හේතුවෙනි. එසේම ඇය ඉතාම නිර්භීතව එය අදාළ ඉහළ ආයතනයන් හට දැනුම්දීම ද සෑම කාන්තාවකටම ආදර්ශයකි.

බොහෝ විට මෙවැනි සිදුවීමක් හමුවේ කාන්තාවක් ඉතාම අසරණ වෙයි. එසේ අසරණවීම හමුවේ ඇය තම සොහොයුරා/ සැමියා බේරා ගැනීමට සියලු රහස් සගවා ගනිමින් කටයුතු කිරීමට පෙළබෙයි. නැතිනම් මෙම සිදුවීම හමුවේ ඇගේ ප්‍රශ්නය තව තවත් අවුලෙන් අවුලට පත්කර ගනියි.

මෙවැනි අවස්ථාවක බොහෝ දෙනකු අසරණ වෙන්නේ බුද්ධිමත්ව ක්‍රියා නොකිරීමෙනි. තමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොලීසියේ නිලධාරියකු විසින්ම වරදක් කළ විට එය පැමිණිලි කරන්නේ කාටද? ඒ පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත්ව නොසිටිති. එසේම එම පැමිණිලි කිරීම තුළින් තමාට සාධාරණය ඉටුවේ ද තවත් ප්‍රශ්නාර්ථයකි. කිසියම් වරදක් කළ පුද්ගලයකු නීතියේ රැහැනට හසුකරදීමට තරම් පැහැදිලි සාක්ෂි අප හට ඇතිනම් වරදකරු කුමන තරාතිරමක අයෙකු වුවත් එයින් ගැළවිය නොහැකි වෙයි. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ පවා තමාට නිසි සාධාරණයක් නොවන අවස්ථාවක එය දැනුම්දීම සඳහා ආයතනයන් ස්ථාපනය කර තිබීම ඉතාම වටිනා ක්‍රියාවකි.

ඒ අනුව මෙවැනි ක්‍රියාවක් සිදුවූ විට එය දැනුම්දීම සඳහා සෑම පොලිස් ස්ථානයකම ළමා හා කාන්තා කාර්යාංශයක් ස්ථාපනය කර තිබේ. එසේම වර්තමානයේ විශාල වශයෙන් සිදුවන සයිබර් අපරාධ මැඬලීම සඳහා බුද්ධි අංශ ඒකකයක් සෑම පළාතකම ස්ථාපනය කර තිබීමද කාලීනව වඩාත් ප්‍රයෝජනවත්ය. එලෙසම මෙවැනි ක්‍රියා දැනුම්දීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ජාතික ළමා කමිටුව 1938 ක්ෂණික දුරකතන අංකයද හඳුන්වා දී තිබේ. මේ අංකයට අමතරව එම කමිටු වලින් ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පැමිණිලි කිරීම සඳහා 1929 අංකය විවෘතව ඇත. මෙම අංක දෙකට අමතරව ළමා හා කාන්තා කාර්යංශයේ 0112444444 අංකය ඇමතීමෙන් ඔබට මෙවැනි ක්‍රියා සම්බන්ධව පැමිණිලි කිරීමට උපදෙස් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

ඔබට කිසියම් අනිසි බලපෑමක් හෝ ලිංගික හිංසනයක් සිදුවී තිබේ නම් එය දැනුම් දිය හැකි මෙම අංකවලට අමතරව පොලිස් සහන මැදිරියද ක්‍රියාත්මකව තිබෙන තවත් විශේෂ ඒකකයකි. එය ස්ථාපනය කර ඇත්තේ ඔබගේ පැමිණිල්ල කිසියම් නිලධාරියකු හෝ පොලීසියක් විසින් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකය. එය දීර්ඝ කාලයක පටන් ක්‍රියාත්මකව ඇති ඒකකයක් වන අතර සෘජුවම පොලිස්පතිවරයාට පවා එම මැදිරිය මඟින් ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කිරිමට අවස්ථාව හිමි වේ.

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න