ණය මුදලක් ලබා ගන්නා විට බලන මොකක්ද මේ CRIB එක?

ඔක්තෝබර් 28, 2020

අපේ රටේ සමස්ත ජනගහනයෙන් 3/4 කටත් වඩා වැඩි පිරිසක් කුමන හෝ බැංකුවකින් එහෙමත් නැතිනම් මූල්‍ය ආයතනයකින් කිසියම් හෝ ණය මුදලක් ලබාගත් අයයි. එසේ ණය මුදලක් ලබා ගත් ඔබේ නම CRIB එකේ එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සටහන් වේ.

මෙසේ කියද්දී ඇතැම් විට ඔබට පුදුමත් හිතේවි.

''එහෙම වෙන්නේ කොහොමද? මම මඟ නොහැරම නියමිත වෙලාවට නියමිත වාරික මුදල ගෙවලා තියෙනවානේ. CRIB එකට නම යන්නේ ණය මුදලේ වාරික පැහැර හැරියොතින්නේ''.

මේ අපේ රටේ බොහෝදෙනකු⁣ගේ සිත්වල ගැඹුරටම කා වැදුණු මතයයි. මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය කරුණකි. පෙර කියූ පරිදි ඔබ අපේ රටේ බැංකුවකින් හෝ කිහිපයකින්, මූල්‍ය ආයතනයකින් හෝ ලීසිං ආයතනයකින් ණය මුදලක් ලබා ගත්තේ නම් ඔබ ණය මුදල ලබා ගත් බැංකුව හෝ මූල්‍ය ආයතනය කවරක් ද? ලබා ගත් ණය මුදලේ වටිනාකම කොපමණ ද? මාස්පතා ගෙවීමට ඇති වාරිකය කොපමණ ද? යන සියල්ලම CRIB නොහොත් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තා වේ.

එහෙත් ඇතැම් වානිජ බැංකු, මූල්‍ය ආයතන ඔබ ණය මුදලක් ඉල්ලුම් කරද්දී, ඇපකරුවන් ලෙස අත්සන් තබද්දී, පෙර ලබා ගත් ණය මුදලක හිඟමුදලක් ඇත්නම් 'ඔබතුමා/ඔබතුමිය ක්‍රිබ් එකට අහුවෙලා ඉන්නේ. ඒ හිඟ මුදල ගෙවලා ක්‍රිබ් එකෙන් නම ඉවත් වුණාට පස්සෙයි, නැවත ණයක් ඉල්ලුම් කරන්න වෙන්නේ යැයි' යැයි ඔබට කිසියම් අනතුරු ඇඟවීමක් කරයි. ඉහත කරුණ එහෙම පිටින් ම වැරැදි මතයක් සමාජගත වීමකි. ක්‍රිබ් එක යනු කුමක්ද යන්න ගැන ඔබ දැනුවත්නම් මේ වැරැදි මතය පිළිබඳව ඔබ කලබල නොවනු ඇත. මේ ලිපියේ අරමුණ ඒ සඳහා ඔබට නිවැරැදි දැනුමක් ලබා දීමයි.

CRIB (Credit Information Bureau Of Sri Lanka)නොහොත් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය යනු කුමක් ද?

මෙය ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයකි. එහි කොටස්කරුවන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව මහ බැංකුවෙන් නියාමනය වන සියලුම ණය දෙන ආයතන (වානිජ බැංකු හා මූල්‍ය ආයතන)යි.මෙවැනි ආයතන 78 ක් පමණ තිබේ.කොළඹ කොටුව ප්‍රදේශයේ සර් බාරෝන් ජයතිලක මාවතේ 'වයිට්වේස්' ගොඩනැගිල්ලේ පිහිටි මේ ආයතනය 1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය දකුණු ආසියාවේ පළමු ණය තොරතුරු කාර්යාංශය යි. ඉන්දියාව වැනි විශාල රටවල පවා ණය ⁣තොරතුරු කාර්යාංශය ඇරැඹියේ ඉන්පසුවයි. එසේම ආසියාවේ පැරැණි ම ණය තොරතුරු කාර්යාංශවලින් එකකුයි අපේ රටේ තිබෙනුයේ.⁣ මෙය රටේ මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙනයමින් වසර 30 ක් පුරාවට රටට,ආර්ථිකයට නිහඬ සේවයක් ඉටු කරයි. අසූව දශකයේ අගභාගයේ වානිජ බැංකු ඇතුළු මූල්‍ය ආයතන රැසක් ම අක්‍රමිකව ණය ලබා දි ඒවා නැවත ලබාගත නොහැකිව කඩා වැටෙන්න ගොසින්.මේ නිසා රටේ මූල්‍ය ස්ථායිතාවේ විශාල අර්බුදයක් ඇතිවී තිබේ. ඒ අවස්ථාවේ සිටි මහ බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන්, ආර්ථික විශේෂඥයින් එකතු වී ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ණය තොරතුරු කාර්යාංශය මෙරට දී පිහිට වීය. එදා පටන් රටේ මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙන යමින් වසර තිහක් තිස්සේ රටට, ආර්ථිකයට නිහඬ සේවයක් ඉටු කරන්නට හැකි වී තිබෙනවා.

 

අදහස් දැක්වීම

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී

නන්දි ඇන්තනි සහ මෙහෙයුම් කළමනාකරු

ඉන්දික දිසානායක

 

 

2020/10/28 තරුණි පුවත්පත බලන්න.