විදෙස් ගමන් බලපත්‍රය කල් ඉකුත් වෙලාද?

ජනවාරි 20, 2021

 

ඔබගේ විදෙස් ගමන්බලපත්‍රයක් නැතිවුණාද සොරා ගත්තාද?

එවන් අවස්ථාවක කළ යුත්තේ කුමක් ද?

 

පුද්ගලයකුට තම අනන්‍යතාව තම රටේදී පෙන්වීමට ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය වනවා සේ විදෙස් රටකදී අවශ්‍ය වන්නේ විදෙස් ගමන් බලපත්‍රයයි.

මවු රටෙන් බැහැරව විදෙස් රටවල පදිංචිවීමට, උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නන්ට, කෙටි සංචාර සඳහා විදෙස් ගත වන්නන්ට විදෙස් ගමන් බලපත්‍රය අත්‍යවශ්‍ය වේ.

මේ කෝවිඩ් සමයේ විදෙස් ගමන් බලපත්‍රය අලුතින් ම ගන්නා අය අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව අප පසුගිය සතියේ කතා කළා. මෙවර අපි ඔබව දැනුවත් කරන්නේ විදෙස් ගමන් බලපත්‍රය කල් ඉකුත්වූ විට සහ අස්ථානගත වූ හෝ සොරාගත් අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි.

බලපත්‍ර ගාස්තු

විදෙස් ගමන් බලපත්‍රය අලුතින් ම ගනිද්දී අය කරන ගාස්තුව හා විදෙස් ගමන් බලපත්‍රය අලුත්කර ගනිද්දී අය කළේ එකම ගාස්තුවකි. එක් දින සේවාවෙන් ලබාගන්නේ නම් රුපියල් 15,000 කුත් සාමාන්‍ය සේවාවෙන් නම් රුපියල් 3500 කුත් ගෙවිය යුතුවේ.

එක්දින සේවය ඔස්සේ

විදෙස් ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා මෙන්ම අස්ථානගතවූ විදෙස් ගමන් බලපත්‍රය ගැනීමට සාමාන්‍ය සේවයේ මෙන්ම එක්දින සේවයේ පිහිට පතන්නට පුළුවන. එක්දින සේවය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය ගන්නේ නම් ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතුවේ. පෙරවරු 8.30 සිට පස්වරු 1.30 දක්වා මේ කර්තව්‍ය ඉටුවේ.

සාමාන්‍ය සේවය ඔස්සේ

කල් ඉකුත් වූ විදෙස් ගමන් බලපත්‍රය හෝ අස්ථානගත වූ විදෙස් ගමන් බලපත්‍රය සාමාන්‍ය සේවය ඔස්සේ ලබාගන්නේ නම් ඔබට වැයවන්නේ රුපියල් 3500ක මුදලකි. එය බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලට භාරදිය හැකියි. එසේ ලියකියවිලි භාරදීමෙන් සති දෙකකට පසු ලියාපදිංචි තැපෑලෙන් නිවෙසටම ඔබගේ අලුත් ම විදෙස් ගමන් බලපත්‍රය ලැබේ.

කල් ඉකුත්වීමේ දිනයෙන් පසුවත්, ඊට විදෙස් ගමන් බලපත්‍රය කල් ඉකුත්වීමේ දිනයෙන් පසුව වුවද නව විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිවේ. එසේම කල් ඉකුත්වීමට දින කිහිපයකට, මාස කිහිපයකට පෙර වුවද නව විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකිවේ.

ඉල්ලුම්පත ලබාගත හැකි තැන්

* කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.

* නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින්.

* ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.

* විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයෙන්.

* අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන ලද මුද්‍රිත ඉල්ලුම්පත්.

අවශ්‍ය අනෙකුත් ලියකියවි

* දැනට ඇති ගමන් බලපත්‍රය සහ එහි ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්.

* ඡායාරූප ශාලාවෙන් ලබාගත් ඡායාරුපශාලා ලදුපත.

* ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.

* ඉල්ලුම්කරුගෙ ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.

* අවශ්‍ය පරිදි විවාහ සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක් (විවාහයෙන් පසු භාවිතවන නම සනාථ කරගැනීම සඳහා)

* වෘත්තියට අදාළ සහතිකය හා සේවය සනාථ කිරීමේ පිළිගත් ලියවිල්ලක් සහ ඒවායේ ඡායා පිටපත්.

භික්ෂූන් වහන්සේලා සඳහා ද භික්ෂු සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඡායා පිටපත් සමඟ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

නැතිවූ විදෙස් ගමන් බලපත්

ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය නැති වූ විට හෝ සොරාගත් අවස්ථාවකදී නිසි බලධාරීන්ට දැනුම් දීම ඔබගේ වගකීමකි. එය නීතිවිරෝධි කටයුත්තකට යොදා ගතහොත් එහි ප්‍රතිඵලය වන්නේ වරදක් කිරීමට අනුබල දීමේ හෝ සහය දැක්වීමේ චෝදනාවට ලක්වීමයි.

මෙරට සිටියදී

මෙරට සිටියදී නැති වූයේ නම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 0115329326 දුරකතන අංකයට දැනුම් දෙන්න. රජයේ නිවාඩු දිනවල හැර සතියේ දින පහේම පෙ. ව. 8.30 සිට ප. ව. 4.00 ද දක්වා මෙම දුරකතන මාර්ග විවෘතව පවතී.

හැකි විගස පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. එවිට පොලිස් ස්ථානය ඔබේ පැමිණිල්ල පිළිබඳ විස්තර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ද දැනුවත් කරයි. එවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඔබගේ එම විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරයි.අවලංගු කිරීමෙන් පසු එම විදෙස් ගමන් බලපත්‍රය මඟින් විදේශගතවීමට නොහැකි වේ.

මෙසේ නැති වූ හෝ සොරාගත් විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු ස්වයංක්‍රීයව ලොවපුරා බෙදා හැරෙන බැවින් අනිසි ලෙස භාවිත කිරීමට ද නොහැකි වේ.එම ගමන් බලපත්‍රය නැවත හමුවුණ ද එය භාවිත කිරීමෙන් වළකින්න. හැකි ඉක්මනින් අලුත් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගන්න.

විදේශයක සිටියදී

* ඔබ පදිංචිව සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

* නැති වූ, සොරාගත් ගමන් බලපත්‍රය පිළිබඳ පැමිණිලි කිරීමේ අයදුම්පතක් ඩවුන්ලෝඩ් කරගන්න.

* පොලිස් පැමිණිල්ල සමඟින් පුරවන ලද අයැදුම්පත ළඟම පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.

* ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට එම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු එම විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කෙරෙනු ඇත.

නැතිවූ/සොරාගත් විදෙස් ගමන් බලපත පිළිබඳ තොරතුරු දැන්වීමේ අංශයක් සුහුරු පායේ ගොඩනැගිල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තුන්වැනි මහලේ පිහිටුවා ඇත.

නැතිවූ/සොරාගත් විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට නව විදෙස් ගමන් බලපත්‍රයක්

මෙහිදී අලුතින් ගමන් බලපත්‍රයක් ගන්නා ක්‍රියාවලියට අනුගමනය කළ යුතුවේ. ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව රුපියල් 11500 ක දඩ මුදලක් ගෙවිය යුතුවේ. මෙම දඩ මුදල අයකරනු ලබන්නේ නැති වූ ගමන් බලප්‍රතයේ අදාළ වලංගු කාලය ඉක්මවා නොමැති නම් පමණි.

අලුතින් විදෙස් ගමන් බලපත්‍රයක් ගනිද්දී ඉදිරිපත් කළ යුතු ලියකියවිලිවලට අමතරව පොලිස් වාර්තාව ද ඉදිරිපත් කළ යුතුවේ.

 

 

උපදෙස් - ආගමන විගමන දෙපාර්තමේන්තුවේ

නියෝජ්‍ය පාලක හා මාධ්‍ය ප්‍රකාශක

ගයාන් මිලින්ද