දියුණුවට බාධා කරන මිථ්‍යා විශ්වාස

පෙබරවාරි 10, 2021

 

* ආකර්ෂණ නීතිය ලෙස හඳුන්වන්නේ සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය වන එකම දේ නොවේ.

 

ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ලබා ගන්නා ඉලක්ක හඹා යාම පහසු කාර්යයක් නොවන බව බොහෝ දෙනකුගේ අදහසයි. එහෙත් නිවැරැදි ඉලක්කයක් ලබා ගත් විට හා ඒ සඳහා යා යුතු නිවැරැදි මාර්ගය සොයා ගත් විට ජීවිතය සාර්ථක කරගැනීම කළ නොහැකි කාර්යයක් ද නොවේ.

ඒ සඳහා අවශ්‍ය වන, තමාට ගැළපෙන, තමාගේ දක්ෂතා හඳුනාගෙන ඒ සඳහා සුදුසු ඉලක්කයක් තමා විසින් ම ලබා ගත යුතු යුතුය.

ජීවිතයට ඉලක්කයක් ලබා ගන්නේ කෙසේදැයි අපි මෙම ලිපි පෙළ මඟින් සාකච්ඡා කළෙමු. අද අපි කතා කරන්නේ පසුගිය ලිපියේ කතා කළ, සාර්ථකත්වයට නැතිනම් ඉලක්කයට යාමට බාධා කරන මිථ්‍යා විශ්වාස පිළිබඳයි.

ජීවිතය සාර්ථක කරගැනීමට නම් අපි සාර්ථකත්වය පතා ප්‍රාර්ථනාවන් කරමින් සිටීම ප්‍රමාණවත් යැයි ඇතැම් අය සිතන බව සමාජය දෙස බැලීමේ දී පෙනී යන කරුණකි. නමුත් ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ඉලක්කයකට කටයුතු කිරීම එසේ ප්‍රාර්ථනා කරමින් සිටිනවාට වඩා සම්පූර්ණයෙන් ම ප්‍රතිඵලදායක ය. මෙය මේ වන විට මුහුණුපොතේ සංසරණය වන ඇතැම් පෝස්ටු තුළින් ද දැක ගත හැකි කරුණකි.

එනම්, ආකර්ෂණ නීතිය පිළිබඳ කතා බහ කිරීමයි. ලෝකයේ එවැනි සංකල්පයක් ඇත. ඒ පිළිබඳ තැනුණු චිත්‍රපටයක් හා පොතක් ද ඇත. නමුත් අපේ රටේ බහුතර ජනතාව එය කොතරම් දුරට ග්‍රහණය කරගෙන නිවැරැදිව භාවිත කරනවා ද යන්න ගැන නිශ්චිත භාවයක් නැත.

ආකර්ෂණ නීතිය ලෙස හඳුන්වන්නේ සාර්ථකත්වය කරා යාමට අවශ්‍ය වන එකම දේ නොවේ. එය යම් කිසි කුඩා උත්තේජනයක් පමණයි. අපේ රටේ මේ පිළිබඳ ලිපි ලියන අයගේ, වීඩියෝ පට කරන අයගේ මාර්තෘකා හා අනු මාර්තෘකා දෙස බැලීමේ දී පෙනීයන කරුණ වන්නේ ඔබට අවශ්‍ය දේ පිළිබඳ ඔබ අපේක්ෂාවෙන් සිටින විට නැතිනම් නිතර සිතන විට එසේ නැතිනම් ස්වයංයෝජනාවක් ලෙස ලියා උදේ සවස මතුරන විට, නැතිනම් එය සිදුවී ඇති ආකාරය මනසින් නිතර දකින විට ඔබට එය ලැබෙන බවයි. නමුත් මේ අදහස බැහැර කිරීමට අපට සිදු වේ. මන්ද යමක් සිත සිතා සිටි පමණින් හෝ දෙයක් දෙස අපේක්ෂාවෙන් සිටිය පමණින් ඒ දේවල් ලැබෙනවා නම් ජීවිතය කොතරම් පහසු දෙයක් ද? නමුත් යථාර්ථය එයට වඩා වෙනස් බව මඳක් සිතීමේ දී ඔබට ද වැටහේවි.

එලෙස ගත් විට මේ දේ අතර හා සිහින අතර වැඩි වෙනසක් නැත. බොහෝ පුද්ගලයන් තුළ සිහින පවතී. නමුත් එම සිහින සැබෑකර ගැනීමට ක්‍රියාත්මක නොවූ මිනිසුන් ඒ සිහින සමඟින් ම මිය යයි. එය ගඟක් අසලට ගොස් එහා ඉවුරේ ඇති පලතුරු ගසක් දෙස බලාගෙන කුසගින්නේ සිටින මිනිසෙක්, මම හරි වාසනාවන්තයි.. අර ගහේ ඇති පලතුර ආකර්ෂණය වෙනවා.. ඔව් මට අද එය ලැබෙනවා.. මට ලැබෙනවා.. සත්‍ය වශයෙන්ම ලැබෙනවා.. ලැබෙන එක ලැබෙනවාමයි කියමින් සිටියාට ඵලක් නොවේ. සිදු වන්නේ එම මිනිසා කුසගින්න අධික වී එතැනම මිය යාමයි. නමුත් කෙසේ හෝ එහා ඉවුරට යන මාර්ගයක් සොයා ගතහොත් හෝ ආහාරයට සුදුසු වෙනත් දෙයක් සොයා ගත හොත් ඔහුගේ කුසගින්නට විසඳුම් ලබා ගත හැකිය.

තම ජීවිත සාර්ථක කරගැනීම සඳහා ඉලක්ක ජය ගැනීමට සිතා සිටින ඔබ දැනගත යුත්තේ අප යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කළාට, විශ්වය එය අපට ඉටුකර දේ යැයි පවසමින් සිටියාට ඉබේ ම සිදු නොවන බවයි. මන්ද අපට අවශ්‍ය වන කිසිම දෙයක් ඉබේ සිදු නොවේ. ඉබේ ම සිදු වන දේ ඇතත් ඒවා ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ස්වභාවික සංසිද්ධීන් පමණි. වැස්ස, සුළං ආදී ස්වභාවික සංසිද්ධීන් ඉබේම සිදුවේ. යම් බීජයක් පොළොවට වැටුණු විට එතැන අවශ්‍ය සාධක තිබේ නම් එය පැළයක් බවට පත් වේ. මෙවැනි දේ ඉබේ සිදු වන නමුත් සාර්ථකත්වය උදෙසා අප බලාපොරොත්තු වන්නේ එවැනි දේ නොවේ.

ඉලක්කයක් ලෙස හඳුන්වන්නේ මේ වන විට තමා ළඟ නැති දෙයක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි. එසේ නම් තමා ළඟ නැති දෙයක් ළඟාකර ගැනීම ප්‍රාර්ථනා වලින් පමණක් සිදු කළ හැකි දෙයක් නොවේ. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක විය යුතුයි. උදාහරණයක් ලෙස කොළඹ සිටින පුද්ගලයකුට මාතර යාමට අවශ්‍ය වූවා නම්, ඔහු ඒ ගැන ප්‍රාර්ථනා කරමින් සිටියාට එම ගමන ඉබේ යාමට නොහැකිය. ඒ වෙනුවෙන් ඔහු සූදානම් විය යුතුයි. මාර්ගයට පැමිණ, බසයකට නැගී ගමන යාමට පිටත් විය යුතුයි. ගමන යාමට අවශ්‍ය මුදල් තමා ළඟ නැතිනම් ඒ සඳහා මුදල් සොයා ගත යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. මේ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කරුණක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

මිථ්‍යාවන් පසුපස යන හා ඒවායෙන් සාර්ථකත්වය අපේක්ෂා කරන්නන් දෙස බැලූ විට පෙනෙන දේ වන්නේ ඔවුන් අපේක්ෂා කරන්නේ පහසුවෙන් කළ හැකි දේ බවයි. ඔවුන් බුදු දහමේ පැවසෙන, කෙනකුට ධනවත් වීමට නම් ඔහු උට්ඨාන වීර්යයෙන් යුතුව, මනා සිහි කල්පනාවෙන් නිසි කටයුත්තේ අනලස්ව නිරත විය යුතුයි යන මතය බැහැර කරන්නවුන් බවට පත්වේ. නිසි කටයුත්තේ අනලස්ව නිරත විය යුතුය යන්න අතහැර පහසු ක්‍රමවේදයන් ඔස්සේ තම අරමුණට ළඟා වීමට උත්සාහ කිරීම මිථ්‍යාවන් පසුපස හඹා යන්නන්ගේ ලක්ෂණයයි.

බුදු දහමේ ම ධනය ඉපයීම පිළිබඳ පැවසෙන තැන්වල සඳහන්ව ඇත්තේ දහදිය වගුරවමින්, බාහු බල යොදමින්, නුවණැති තෙමේ උත්සාහවත් වීම හරහා තමාගේ බවභෝග සම්පත් වර්ධනය කරගත යුතු බවයි. එමනිසා ඉලක්කයක් ජය ගැනීමට සිටින ඔබ අනිවාර්යයෙන් ම ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි.

ඇතැම් අය වාසනාව ගෙන දෙන්නේ යැයි පවසමින් වාලම්පුරි ආදී දේ මිලදී ගැනීම සඳහා ගොස් තමාගේ වටිනා කාලයත් මුදලුත් නැතිකර ගනී. ඇතැම් අය තමාගේ කේන්දරයේ වාසනාව ඇතිදැයි සෙවීමට ගොස් තම කාලය හා මුදල් අපතේ යවයි. කේන්දරය විශ්වාස කිරීම නිසා තමා සිදු කරන දේ ගැන අවිශ්වාසයක් ඇතිකර ගනී. තමා ගැන ඇති විශ්වාසය පළුදු කරගනී. ඇතැම් විට ඔබගේ අනාගතයම මෙවැනි කාරණා නිසා අඳුරු විය හැකියි.

බුදුන් වහන්සේ පවසන්නේ ඔබ අපේක්ෂා කරන ලෝකය පවතින්නේ ඔබ තුළ බවයි. එය ඔබ බැහැරින් සෙවිය යුතු නැත. බඹයක් තරම් වූ ශරීරය තුළ මුළු විශ්වයම ගැබ්ව පවතිනවා. එම නිසා ඔබ පරිවර්තනය කරගත යුත්තේ ඔබමයි. බැහැර ඇති සාධක පසුපස ගොස් සාර්ථකත්වය සෙවීම කාලය අපතේ යැවීමකි.

මේ නිසා යම් අයෙක් පවසන දේ, මුහුණුපොතේ පවතින දේ පිළිබඳ එක්වරම විශ්වාසය තබා ඒවා කිරීමට යනවාට වඩා ඒවා දෙස තාර්කිකව බලා තමාගේ ඉලක්කය කරා යන ගමන සඳහා ක්‍රියාත්මක වීම මඟින් ජීවිතය සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. නුවණැත්තන් තම බුද්ධිය මෙහෙයවා මෙවැනි මත පිළිබඳ සොයා බැලිය යුතුය. එවැනි දේ මඟින් ජීවිත සාර්ථක කරගත් පුද්ගලයන් පිළිබඳ සොයා බලන්න. කෙසේ වෙතත් තමා සතු තාර්කික බුද්ධිය මෙහෙයවා වැඩ කිරීමෙන් ඔබට සාර්ථකත්වය කරා ළඟා වීමට හැකියාව ලැබේවි.

 

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු