අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ගැන පැමිණිලි පොලීසිය එතරම් නොතකන බවකුත් පෙනී යනවා

ලිංගික අපයෝජන හා සූරාකෑම්වලින් ළමයින් ආරක්ෂා කරගැනීමට රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම සෑහේවිද?
ජූලි 14, 2021

 

පහළොස් හැවිරිදි දැරියක්ව අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින් භෞතික වශයෙන් අලෙවි කර ඇති සිද්ධියක් මේ දිනවල සැවොම ගේම සිත් කළඹවන්නට සමත්ව තිබේ.

මේ සඳහා සම්බන්ධ වූ විවිධාකාර පිරිස් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශණ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනිමින් පවතී. අත්අඩංගුවට පත්වන පිරිස සංඛ්‍යාත්මකව දිනෙන් දින වැඩිවද්දී සමාජයේ වැදගත් යයි සම්මත වෘත්තීන් හි නියැළී සිටින පිරිස් ද සිටීම ජුගුප්සාජනකය.

මේ අතරතුරේ ළමයින් සහ කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් හමුවේ නැඟී සිටින රාජ්‍ය නොවන සංවිධාන නිහඬව සිටී ද? මෙතෙක් ඒ වෙනුවෙන් ඔවුන් හඬ නැගුවේ ද?

ඒ පිළිබඳව සොයා බලන්නට අප එක්කර ගනු ලැබුයේ සෑම ආකාරයකම ලිංගික අපයෝජන සහ සූරාකෑම්වලින් ළමයින් ආරක්ෂා කර ළමා හිමිකම් සුරැකීම වෙනුවෙන් පිහිටවා ඇති සංවිධානයක් වූ එක්පැට් (ecpat) ශ්‍රී ලංකා හෙවත් PEACE නම් වූ රාජ්‍ය නොවන සංවිධානයටයි.

ඔබ නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව දරුවන් ලිංගික අපයෝජනයෙන් මුදා ගැනීම සඳහා ම වූවක්. එසේ නම් අන්තර්ජාලය හරහා 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්වීමට එරෙහිව ඔබලා හඬ නැඟිය යුතුම නොවේද?

වානිජමය ලිංගික අපයෝජනයට එරෙහිව අපි හැමදාමත් නැඟී සිටිනවා. ලංකාවේ ළමා ලිංගික අපයෝජනය සහ සූරාකෑම යන මාතෘකාව පිළිබද සෘජුවම කතා කරන රාජ්‍ය නොවන සංවිධානය අපි. ළමා හා කාන්තා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ සහයෝගයෙනුයි අපි වැඩ කරන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කරමිනුයි පවතින්නේ.

රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ඔබලාටත් මෙහි විශාල වගකීමක් පැවරෙනවා. ඒ නිසා රජයට වුණත් යම් බලපෑම් කිරීමේ හැකියාවක් පවතිනවා.

මෙහි පරීක්ෂණයන් මේ දිනවල සිදුවන්නේ. අපි රාජ්‍ය නොවන සංවිධානයක් නිසාම පරීක්ෂණ සඳහා මැදිහත් වීමේ අධිකාරිමය බලයක් නැහැ. එහෙත් පරීක්ෂණවල යම් යම් අඬු ලුහුඬුතා සිදුවේ නම්, වරදකරුවන් නිසි දඬුවම්වලට යටත් නොවී තිබීමේ තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ කෙරෙහි බලපෑම් කරන්නට, හඬක් නගන්නට, ඔවුන් අවදි කරවන්නට අපට පුළුවන්.

මීට අමතරව ලිංගික අපයෝජනයට ලක්වූ දැරිවියට නීති උපදෙස්, නීති ආධාර අවශ්‍ය වේ නම් ඒ පිළිබද සැලකිල්ලෙනුයි සිටින්නේ. මුදල් අය කිරීමකින් තොරව මේ දේවල් කිරීමට අපි බැඳී ඉන්නවා.

අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු, අපයෝජනයන් පිළිබඳ අපේ රටේ දැනුවත්වීම කෙසේද?

අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ ගැන පැමිණිලි පොලීසිය එතරම් නොතකන බවකුත් පෙනී යනවා. ඔවුන් එවැනි පැමිණිලි භාරගන්න යම් මැලිකමක් දක්වනවා. ප්‍රේම සබඳතාවන් බිඳී ගොස් පෙම්වතා පෙම්වතියගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට මුදා හරිනවා. මෙවැනි දෙයක් පැමිණිලි කරන්න යෑමේදී පොලීසිය පවසන්නේ, ‘‘ඇයි ඔය දේවල් කළේ, කරන්න කලින්නේ හිතන්න තිබුණේ. අඩු වයසට මොකටද ෆේස්බුක් පාවිච්චි කරන්නේ...‘‘වැනි වදන්. මේ දේවල් වෙන්නේ පොලිස් නිලධාරීන් තාක්ෂණික දැනුමින් සන්නද්ධ නොවන නිසා.

පරිගණක හදිසි සූදානම් කණ්ඩායම (Serch Sri Lanka) යනුවෙන් කණ්ඩායමක් සිටිනවා. මේ අයටත් විමර්ෂණ කරන්න බලයක් නැහැ. ඔවුන් තමයි තාක්ෂණික සහය ලබා දෙන්නේ. අන්තර්ජාලය හරහා යම් නොපනත්කම් වේ නම් ඒ සඳහා තාක්ෂණික සහය ලබා ගත හැකියි.

15 හැවිරිදි මේ දැරිය පිළිබඳව අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීමක් පළකිරීමෙන් ඇරැඹුණු ගමනයි අද මේ තත්ත්වයට පැමිණ තිබෙන්නේ.

අන්තර්ජාල අපරාධ වැළැක්වීම පිළිබඳ පළාත් මට්ටමින් තාක්ෂණික දැනුම දීම අපි ඇරැඹුවා. මෙය පළාත් කිහිපයක් සඳහා කරගෙන යමින් සිටියදී කොරෝනා වසංගත පැතිරෙන්න පටන් ගත්තේ. අන්තර්ජාල අපරාධ කියන්නේ අපේ රටට අලුත් රැල්ලක්. රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස අපි අපේ වගකීම ඉටු කරමින් මේ කර්තව්‍යයට අත ගැසුවා. අදාළ රාජ්‍ය නිලධාරීන්ට ඒ පිළිබඳ දැනුවත් කිරීම් කරලීමයි අපේ අරමුණ වුණේ.

අන්තර්ජාල අපරාධයක් සිදුවන්නේ කොහොමද? අන්තර්ජාල අපරාධවල ස්වරූපයන් මොනවාද? මෙවැන්නකට බාලවයස්කාරියක / බාලවයස්කරුවකු මුහුණ දුනහොත් එය පැමිණිලි කිරීමේ යාන්ත්‍රණයට එකතුවන්නේ කොහොමද? මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ වෙනුවෙන් කළයුතු වන්නේ කුමක්ද? එනම් මෙවැනි පරීක්ෂණයක් කරගෙන යද්දී අදාළ දරුවා/දැරියගෙන් (දරුවාට/දැරියට හිතකර ලෙස) ප්‍රශ්න කළ යුතුවන්නේ කොහොමද? යනාදිය සඳහා අපි පොලිස් නිලධාරීන් පුහුණු වැඩසටහන් හරහා දැනුවත් කොට තිබෙනවා.

අන්තර්ජාල අපරාධයකදී සාක්ෂි එකතු කරන්නේ කොහොමද? ඉලෙක්ට්‍රොනික සාක්ෂි ගබඩා කරන්නේ කෙසේද? මේ සඳහා සහයට ගතහැකි ආයතන මොනවාද? වැනි තාක්ෂණික දැනුම අපට දෙන්න පුළුවන් වී තිබෙනවා. නිලධාරින්ගේ දැනුම් මට්ටම ඉහළ දැමීම අපේ එක අරමුණක්.

දෙමව්පියෝ, ගුරුවරු, මාධ්‍යවේදීන්, නීතිඥවරු, දරුවන්.... යන මේ සෑම කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි අපි බිම් මට්ටමේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන් කර තිබෙනවා.

මෙවන් ඛේදවාචක සිදු නොවන්නට අවැසි මඟ සලසාදීම නේද කළ යුතුවන්නේ?

ඇත්තටම ඔව්. කොහොමත් මෙවැනි සිද්ධියක් සිදුවුණු පසු විශාල ලෙස බලපෑම් කරන්නට අපිට අධිකාරිමය බලයක් නැහැ. රාජ්‍ය නොවන සංවිධානයක සම්පූර්ණ වැඩ කොටස තියෙන්නේ දෙයක් වීමට කලින් කොහොමද මේවා නවත්වන්නේ කියා.

2011 දී ළමයින් පෙනී සිටින නිරුවත් දර්ශන සහිත චිත්‍රපට වෙබ් අඩයි 975ක් අධිකරණ නියෝගයකින් තහනම් කිරීමට අපි මැදිහත් වුණා. නමුත් ඒවා තව දින කිහිපයක් යද්දී වෙනත් වෙබ් අඩවි ඔස්සේ හදනවා.

අන්තර්ජාල පහසුකම් දෙන කණ්ඩායම්වලට (Service Provider) මේ සඳහා විශාල කාර්යභාරයක් කළ හැකියි.

මේ දේවල්වලට යොමු වුණු දරුවන් ගොඩගැනීම අපහසුයි. ඔවුන් මානසිකවත් ඇද වැටෙනවා. නැවත නඟා සිටුවන්න අපහසුයි. වැළැක්වීමට හැකි උපරිමය ගන්නයි අපි උත්සහ කරන්නේ.

අපිට ලැබෙන පැමිණිලි සියල්ල ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙත යොමු කරන්නේ. අපි හැමවිටම කියන්නේ 1929ට කතා කරන්න කියා. එතැන දක්වා වූ මාර්ගෝපදේශනය අපට දෙන්න පුළුවන්.

නමුත් නීති ආධාර සඳහා ඉල්ලීමක් කළොත් ඒ සඳහා පූර්ණ වශයෙන් සහයෝගය ලබාදෙනවා. අධ්‍යාපනික ආධාර ලබා දීමත් වෙනවා.

මේ සිද්ධිය පිළිබඳ ඔබ සංවිධානයේ අවධානය කෙබඳු ද?

මෙහි පරීක්ෂණ සිදුවන අන්දම පිළිබඳ අප අවධානයෙනුයි ඉන්නේ. අද වෙද්දි දැනට 23 දෙනකු සෘජුවම දැරියව අපයෝජනයට ලක්කොට තිබෙනවා. තවත් දස දෙනකු පමණ සිද්ධියට සම්බන්ධයි.

දැනට මේ පරීක්ෂණවල ගැටලුවක් තිබෙනවාද?

නැහැ. දැනට ගැටලුවක් නැහැ. හැමෝගෙම අවධානය යොමුවෙලා නිසා හිඩැස්වලින් පැන යෑමට නොහැකි තත්ත්වයක් තිබෙන්නේ.

මෙවැනි ප්‍රශ්නවලදී නීතිමය ගැටලු තිබෙනවා. 2007 පරිගණක අපරාධ පිළිබඳ පනත තිබෙනවා. මෙහිදී අවධානය යොමුවී තියෙන්නේ පරිගණක හරහා මූල්‍යමය අපරාධ සිදුවීම පිළිබඳ. එහෙත් ඊට එහා ගිය වපසරියක් තිබෙනවා.

ඉන් අදහස් වෙන්නේ මේ සම්බන්ධව ක්‍රියාත්මවක වන නීතියේ හිඩැසක් ඇති බව.

ඇත්තෙන්ම ඔව්. සාමාන්‍ය ළමා අපයෝජනයට නීති තිබුණත් අන්තර්ජාලය හරහාවන අපයෝජනයට නීති අඩුයි. මේ දරුවා පිළිබද අන්තර්ජාලයේ දැන්වීම් පළවෙනවා. මේ සඳහා නීති දැඩි කරන්න මේ හොඳම කාලය. මොකද දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයක නිරතවන්නේ සයිබර් අවකාශයේ රිසි සේ සැරිසරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.

මේ සිද්ධිය වාර්තාකරද්දී මාධ්‍යයටත් යම් වගකීමක් තිබෙනවා. අපයෝජනය, අපහරණය යන වචන පාවිච්චි කළත් වෙනත් වචන භාවිත කිරීම දැරියට කරන හානියක්. ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුවත් එවන් වදන් භාවිත කරන්න බැහැ.

ලිංගික අධ්‍යාපනය ඒ ඒ වයසට සරිලන පරිදි අධ්‍යාපන ක්‍රමයට එකතුකළ යුතු දෙයක් බව අපි ආයතනයක් ලෙස අවධාරණය කරනවා.

වයස අවුරුදු 16ට අඩු දරුවෙක්/දැරියක් ඒ කෙනාගේ කැමැත්තෙන් වුවත් ලිංගික අපයෝජනයකට ලක්කිරීම ව්‍යවස්ථායිව ස්ත්‍රී දූෂණය යටතට එක්වන්නේ. එසේ නම් 16 - 18 අතර දරුවකුට වන අපයෝජන සම්බන්ධයෙන් වන නීතිය කුමක්ද යන්න ගැටලුවක්.

ළමයින් අපයෝජනය සඳහාම යොමුවන විකෘති කාමාශාවන් ඇති පිරිස් සිටිනවා. ඔවුන්ට රූප රාජනියක් අසල සිටියත් වගක් නැහැ. තවත් සමහරු වෙනස් අත්දැකීමක් ගැනීමට දරුවන් සමඟ එක්වනවා. දෙබඩි ජීවිත ගත කරන එනම් හොඳ පවුල් ජීවිත තිබෙන අය මෙවැනි අපයෝජනවලට යොමුවන අවස්ථාවනුත් තිබෙනවා. මෙවන් විවිධ පිරිස් සමාජයේ අපි අතරම සිටිනවා.

 

 

අදහස් දැක්වීම

එක්පැට් ශ්‍රී ලංකා/ PEACE සංවිධාන‍ෙයහි ව්‍යාපෘති නිලධාරී

තවීශ බුලේගොඩ