ඉස්සො ගෙනෙන රස රැස

අගෝස්තු 14, 2019

ප්‍රණීත ආහාර වේලක රසය විඳගන්න කැමැති ඔබ වෙනුවෙන් අපි සතිපතාම රසැති ආහාර වට්ටෝරු ගෙන එන්නෙමු. අද අපේ තිළිණය රසයෙන් හා පෝෂණ ගුණයෙන් අනූන ‘ඉස්සන්’ ගෙන් සකසන කැම වට්ටෝරු කිහිපයකි.

කොයි විදිහට කොහොම හැදුවත් රසය ඉතිරෙන ඉස්සො ආහාරයට සකසා ගත හැකි ක්‍රම ද ගණනාවකි.

ආසියානුවන් ගේ මෙන්ම බටහිර ජාතීන්ගේ ප්‍රියතම මුහුදු ආහාරයක් වූ ඉස්සො ග්‍රෑම් සියයක කැලරි අනූනවයක් අඩංගුයි. ප්‍රෝටීන්, විටමින් ඒ, මිටමින් සී, ඩී, කැල්සියම්, යකඩ, මැග්නිසියම් ආදී පෝෂක සංඝටක රැසක්ම අඩංගුයි.

එසේනම් නිවෙසේ කැම වේලට වගේම විශේෂ උත්සව සඳහාත් එක සේ ගැළපෙන මේ කැම වට්ටෝරු ඔබත් සකසා රස බලන්න.

2019/08/14 තරුණි බලන්න

----------------------------

කඩල මිශ්‍ර ඉස්සෝ සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සො ග්‍රෑම් 250 ක්

තම්බාගත් කඩල ග්‍රෑම් 100 ක්

සලාද කොළ අවශ්‍ය ප්‍රමාණයට

විනාකිරි මේස හැන්දක්

අබ කුඩු තේ හැන්දක්

සීනි තේ හැන්දක්

රස අනුව ලුණු කුඩු

රස අනුව ගම්මිරිස් කුඩු

දෙහි යුෂ

ඔලිව් තෙල් තේ හැඳි 2 ක්

ලොකු ලූනු ගෙඩියක්

 

සාදන ක්‍රමය

පළමුව පොතු ඉවත්කර ඉස්සො හොඳින් සෝදා ගන්න. ඉන්පසු සෝදාගත් ඉස්සෝ ලුණු මිශ්‍ර වතුරේ තම්බාගන්න.

ලොකු ලූනු ගෙඩිය සිහින්ව කපා පසෙකින් තබන්න. භාජනයක් ගෙන එයට සීනි, අබ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස්, දෙහි යුෂ සහ ඔලිව් තෙල් දමා සෝස් එකක් ලෙස සකසා ගන්න.

තම්බාගත් ඉස්සෝ, තම්බාගත් කඩල, කපාගත් බී ලූනු දමා සෝස් මිශ්‍රණය සමඟ හොඳින් කලවම් කරගන්න. දැන් දීසියකට සලාද කොළ ඊට උඩින් සකසාගත් මිශ්‍රණය දමා පිළිගන්වන්න.