හනි යෝගට් චීස් කේක්

ඔක්තෝබර් 16, 2019

අතුරු පසක් කී සැණින් එය සෞඛ්‍යයට අහිතකරයයි සිතුණ ද සෑම අතුරුපසක්ම සෞඛ්‍යයට අහිතකර නැත. මේ මෙඩිටරේනියානු අතුරු පස රස බලන ඔබට එසේ සිතෙනු නිසැකය.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඟුරු බිස්කට් ග්‍රෑම් 100

ටෝස්ට් කළ ආමන්ඩ්ස් ග්‍රෑම් 85

දියවුණු බටර් ග්‍රෑම් 85

ගී‍්‍රක් යෝගට් මිලිලීටර් 250

මාස්කාපෝන් චීස් ග්‍රෑම් 750

බිත්තර 2

දෙහි ගෙඩියක තීරු කැපූ ලෙල්ල

දොඩම් ගෙඩියක තීරු කැපූ ලෙල්ල

මී පැණි/කිතුල් පැණි මිලිලීටර් 250

නැවුම් පලතුරු

 

සාදන ක්‍රමය

උදුන සෙල්සියස් 160/140 රත් කරගන්න. බිස්කට් සහ ආමන්ඩ් කැබැලිකර බටර් සමඟ මිශ්‍රකර තැටියට දමන්න. කර කර හා රසට සැපෙන පදමට එනතුරු බේක් කරන්න.

යෝගට් සහ මාස්කාපෝන් චීස් කලවම් කර, බිත්තර හොඳින් ගසාගන්න. දෙහි සහ දොඩම් ලෙලි කලවම්කර මී පැණි ද එක්කර කලවම් කරන්න. (මී පැණි මේස හැඳි තුනක් පමණ)

ඉන්පසු බිස්කට්, ආමන්ඩ් බේක් කරගත් තැටියට ඒවා එක්කරන්න. ඇලුමිනියම් කඩදාසියකින් වසා මිනිත්තු 15 ක් පමණ රන් පැහැ වනතුරු බේක්කර ගන්න. සිසිල් වන්න හරින්න.

ආමන්ඩ් කැබලි, මී පැණි/කිතුල් පැණි උඩින් අවශ්‍ය පරිදි එක්කර වටේට නැවුම් පලතුරු කැබැලි තබා කෑමට දෙන්න.

බේක් කළ හනි යෝගට් චීස් කේක් දෙදිනක් ගීතකරණයේ තැබිය හැකියි.

* ගී‍්‍රක් යෝගට් සුපිරි අලෙවිසල්වල ඇත. එය නිවෙසේදීද සාදාගත හැකියි. අවශ්‍ය වන්නේ කිරි කෝප්ප 4, සාමාන්‍ය යෝගට් කෝප්ප 1/4 ක් පමණි. නැවුම් කිරි ෆැරන්හයිට් අංශක185 ට රත් කරන්න. සිසිල් වන්නට හරින්න. රසවත් යෝගට් නිෂ්පාදනය වී තිබේ. උණුසුම් කිරි කෝප්ප 1/2 ක් ඊට එක්කරන්න. කිරි සහ යෝගට් හොඳින් මිශ්‍රකරන්න.

උණුසුම් තැනක මිශ්‍රණය පැය 4-8 ක් තබන්න. දැන් යෝගට් උකුවී ඇත. ජෑම් බෝතලයකට හෝ එවැනි බෝතලයකට දමා අවන් එකේ විදුලි බුබුල දල්වන්න. ඒ ආලෝකයෙන් යෝගට් පැසීම සිදු වෙයි. දැන් නැවුම් යෝගට් සෑදී ඇත.

ඉන්පසු පිරිසුදු බඳුනක් ගෙන චීස් ක්ලෝත් හෝ වෙනත් හොඳින් පෙරෙන පිරිසුදු රෙදි කැබැල්ලකින් යෝගට් පෙරා උකු කොටස රෙදි කැබැල්ලකින් ගෙන පිරිසුදු බඳුනක දමා ශීතකරණයේ තබන්න. යෝගට් අවශ්‍ය තරමට ඝනවී ඇත්දැයි බැලීමට පැය කිහිපයකට වරක් වරන්වර තබන්න. පෙරන ලද දියර කොටසේ වැඩිපුර ඇත්තේ ‘වේ’ යෝගට්ය. එය සුප් හෝ වෙනත් ආහරයකට මිශ්‍ර කළ හැකියි.

හොඳින් ඝනවූ යෝගට් වාතය නොයන බඳුනකට දමා අවශ්‍ය තරම් උකු වූ පසු කෑමට ගැනීමට යොදාගත හැකියි.

මාස්කාපෝන් චීස් ද නිවෙසේදීම පිළියෙළ කරගත හැකියි. ඒ සඳහා ගත වන්නේ මිනිත්තු 10 ක කාලයකි.

අවශ්‍ය ද්‍රව්‍ය

හෙව් ක්‍රීම්/ විපිං ක්‍රීම් කෝප්ප 2

දෙහි යුෂ මේස හැඳි 1

 

සාදන ක්‍රමය

අඩු උෂ්ණත්වයකට විපිං ක්‍රීම් තැටියක රත් කරගන්න.

මිනිත්තු 3ක් පමණ රත්කර දෙහි යුෂ එක්කර මඳ උණුසුමේ තැම්බෙන්නට හරින්න. තැටිය ගින්නෙන් ඉවත්කර කාමර උෂ්ණත්වයේ සිසිල් වන්නට හරින්න. මිනිත්තු 30ක් පමණ තබන්න.

චීස් ක්ලෝක් රෙදි කැබැලි තට්ටු තුනක් ගෙන පිරිසුදු කුඩා බඳුනක් යටින් තබා පෙරා ගන්න. පෙරූ පසු ඉතිරි වූ ඝන කොටස රැයක් පුරා ශීතකරණයේ තබන්න. පසුදා කෑමකට එක්කළ හැකිය.