රසින් පිරි කේක්

නොවැම්බර් 20, 2019

උඳුවප් මහ පුරාවටම හමන්නේ, නත්තල් සීතල. මුළු ගතම නත්තල් සීතලෙන් වෙළා ගනිද්දී සිතට දැනෙනුයේ චමත්කාරජනක හැඟුමක්. අලුත් අවුරුදු සමය වගේම නත්තලේ දීත් ගෘහණියන් බෙහෙවින් ම කාර්යබහුලයි. කිතුනු බැතිමතුන් පමණක් නොවෙයි, අන් ආගමිකයන් පවා නත්තලට ගැළපෙන කෑමබීම පිළියෙල කරමින්, නිවෙස් අලංකාර කරමින් ලහිලහියේම සූදානම් වෙනවා.

නත්තලේ දී අමුත්තන්ට සංග්‍රහ කරන්නට කැවිලි පෙවිලි පිඟානට අනිවාර්යයෙන්ම ඇතුළත්කරන ක්‍රිස්මස් කේක් එක වගේම නත්තලටම ආවේණික යූ ලෝග් ඇතුළු තවත් කේක් වර්ග කිහිපයකින් ම සැදුම්ලත් කෑම අතිරේකයකුයි මෙවර තරුණී ‘රසාර’ වෙතින් ඔබට පිරිනමනුයේ.

කේක් නිර්මාණය ස්වයං රැකියාවක් ලෙස තෝරා ගනිමින් ආර්ථිකය සරු කරගන්නටත් මේ මඟ පෙන්වීම ඔබට අත්වැලක් ම වේවි.

 

ඉදිරිපත් කිරීම

කේක් නිර්මාණ ශිල්පිනි

මයුරංගි සිල්වා

 

Christmas leaves හා Holly Fruits වලින් අලංකාර වූ නත්තල් කේක් එක

 

නත්තල් මේසය අලංකෘත කරන තවත් සිත් ඇදබැඳ ගන්නා සුලු කේක් නිර්මාණයකි මේ. නත්තලටම ආවේණික හැඩයෙන් යුතු කොළ වර්ග කේක් එක මතුපිට තිබීමෙන් සහ රතු පැහැති රිබන් එකෙන් ලැබී ඇත්තේ ආකර්ෂණිය නිමාවකි.

අවශ්‍ය ද්‍රව්‍ය

රවුම් හැඩැති බටර් කේක් එකක්

ෆොන්ඩන්ට් අයිසිං කිලෝ එකක්

තද කොළ සහ රතු වර්ණ ගන්වා ගත් ෆොන්ඩන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

මුලින්ම කේක් එක බේස් එක මත තබා සම්පූර්ණ කේක් එක මත බටර් අයිසිං තවරා ගන්න.

ඉන්පසු සුදුපාට ෆොන්ඩන්ට් කොටසක් ගෙන රෝලිංපින් එකක ආධාරයෙන් තුනී කොට එය කේක් එක මතට දමා අතින් තදකරමින් හැඩය මතු කරගන්න.

දැන් වැඩිපුර ඇති අයිසිං කොටස කතුරකින් කපා ඉවත්කරන්න.

කොළ පාට ෆොන්ඩන්ට් අයිසිං ගෙන chirstmas leaf cutter එක මඟින් අවශ්‍ය ප්‍රමාණයට කොළ කපාගෙන ඒවා කේක් එක මත රවුමට අලංකාරව වතුර ස්වල්පයකින් අලවාගන්න.

රතු පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් කුඩා බෝල සාදා Holly Fruits පොකුරු ලෙස පෙනෙන ආකාරයෙන් රඳවා ගන්න.

සුදු පාට ෆොන්ඩන්ට් අයිසිංවලින් කුඩා බෝල සාදා කේක් එක වටේ අලවා ගන්න.

අවසානයේ කේක එක වටේ රතු රිබන් පටියකින් අලංකාරවත් කරගන්න.

2019/11/20 තරුණි බලන්න