පාසල් දරුවන්ට පෝෂණීය දිවා ආහාර

ජනවාරි 8, 2020

නිවාඩු කාලය අවසන් වෙලා ඔන්න නව වසරේ අලුත් පාසල් වාරය පටන් ගත්තා. අලුත්ම පන්තියකට පියමනින දරුවන් වාගේම හා හා පුරා කියා අලුතින්ම පාසලට ඇතුළත් වෙන දරුවනුත් මේ ගත කරන්නේ හරිම නොඉවසිලිමත් දවස් කිහිපයක්.

නුහුරු පරිසරයක ජීවිතයේ අත්විඳින පළමු අත්දැකීම් මාලාව හරිම වෙනස්. ඉතින් එක එක දරුවන් ඒක විඳදරාගන්නා විදිහත් විවිධාකාරයි. මේ නිසා පාසල තුළ ගතවන කාලවේලාව පි‍්‍රයජනක කිරීම ගුරුවරුන්ට වාගේම මවුපියන්ටත් අයිති කාර්යයක්.

විශේෂයෙන්ම මේ අලුත් පරිසරයේ ඔවුන්ගේ දිවා ආහාරය සරලව, පහසුවෙන් ලබා ගතහැකි ආකාරයට සකසා ගැනීම හරිම වැදගත්. මන්ද පාසල්වලින් දරුවන්ගේ ආහාර කාලසටහනක් ලබාදෙන අතර දරුවන් වැඩි ප්‍රමාණයක් එම ආහාර ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒවා සකස් කරන ආකාරය වාගේම යොදාගන්නා අමුද්‍රව්‍ය වෙනස් කළහොත් රසේ වෙනසක් සිදුවේවි.

හැබැයි මේ විදිහට රසය වාගේම පෝෂණ ගුණයට ඉහළ තැනක් ලබාදී සකස් කර ඇති මේ ආහාර වේල් කිහිපය නම් ඔබේ දරුවන් කවදාවත් එපා කියන එකක් නැහැ.

 

රස වෙනසකට  පෝෂක රොටිය

 

හැමදාමත් පොල් සහ පිටි මිශ්‍ර කරලා හදන පොල් රොටිය අපි අද වෙනස් විදිහට හදමු. පිටි වර්ග කිහිපයක් විතරක් නෙමෙයි පලා වර්ගයකුත් මිශ්‍ර කරපු මේ රොටිය පෝෂණයෙන් ඉහළයි. ඒ වාගේම රසයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සෝයා මීට් මේස හැඳි 02 ක්

කුරක්කන් පිටි මේස හැඳි 02 ක්

බඩඉරිඟු පිටි මේස හැඳි 02 ක්

හාල් පිටි මේස හැඳි 02 ක්

පොල් ස්වල්පයක්

ලියාගත මුගුණුවැන්න

ස්වල්පයක්

සිහින්ව ලියාගත් රතුලූනු

ගෙඩි 2ක් පමණ

සිහින්ව ලියාගත් අමුමිරිස් කරලක්

 

සාදන ක්‍රමය

මේ සියල්ලම පිරිසුදු බඳුනකට දමා හොඳින් මිශ්‍රකරන්න. අනතුරුව මඳ උණුසුම් වතුරෙන් අනා වසා තබන්න. පැය 1/2 කට පමණ පසු අවශ්‍ය ප්‍රමාණයට කොටස්වලට වෙන් කරන්න. ඉන්පසුව තුනීකර රොටි සාදා දෙපැත්ත දමා පුළුස්සා ගන්න.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

නිර්මලා විජේරත්න

2020/01/08 තරුණි බලන්න