මාළු ඇඹුල්තියල්

අප්‍රේල් 8, 2020

අවශ්‍ය ද්‍රව්‍ය

මාළු ග්‍රෑම් 500 ක් (කෙළවල්ලා වඩාත් සුදුසුයි)

තම්බා අඹරාහත් ගොරකා ග්‍රැම් 50 ක්

ගම්මිරිස් කුඩු මේස හැඳී 1 ක්

අවශ්‍ය තරමට ලුණු

කහ කුඩු ස්වල්පයක්

අමුමිරිස් කරල් 3 ක්

කරපිංචා ටිකක්

එනසල්, කරාබු නැටි 2-3 ක්

මිරිස් කුඩු තේ හැඳී 1 ක්

වතුර කෝප්ප 1 ක් පමණ

 

සාදන ආකාරය

මාළු කෑලි කපා හොඳීන් සෝදා ගන්න.

ඉන්පසු අඹරාහත් ගොරකා, ලුණු, කරපිංචා, අමුමිරිස්, එනසල්, කරාබු නැටි, ගම්මිරිස්, කහ, මිරිස් එකට එක්කර වතුර ටික ටික දමමින් හොංදින් අඹරා මිශ්‍රණයක් සාදාගන්න. බ්ලෙන්ඩ් කරගැනීම ද සුදුසුය.

ඉන්පසු සෝදාගත් මාළු කැබලිවල මෙම මිශ්‍රණය හොඳීන් තවරා පිරිසුදු මැටි බඳුනක අසුරා වතුර කෝප්ප 1/2 ක් පමණ දමා තෙත හිඳෙන තෙක් මඳගින්නේ පිසගන්න.

කිරිබත් සමඟ කෑම මෙසයට යවන්නට කදිමයි.

 

-------------

පොලොස් අච්චාරුව

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

තරමක කැබලිවලට කපාගත් පොලොස් ගෙඩියක් පමණ

රතුලූනු ග්‍රෑම් 200 ක්

අමුමිරිස් ග්‍රෑම් 50 ක්

විනාකිරි ස්වල්පයක්

සුදුලූනු බික් 4 ක්

ඉඟුරු කැබැල්ලක්

මුරුංගා පොතු කැබැල්ලක්

අබ ග්‍රෑම් 50 ක්

සීනි මේස හැඳී 3 ක්

දෙහි යුෂ ටිකක්

රස අනුව ලුණු

 

සාදන ආකාරය

 

පළමුව ලුණු දමා පොලොස් කැබලි හොඳීන් තම්බාගන්න.

ඉන්පසු අබ, ඉඟුරු, සුදුලූනු, මුරුංගා පොතු විනාකිරෙන් අඹරාගන්න.

රතු ලූනු, අමුමිරිස්, තම්බාගත් පොලොස් මැටි බඳුනකට දමා අඹරාගත් මිශ්‍රණය ද එයට එක්කරන්න. ඉන්පසු සීනි, දෙහි, ලුණු, කුරුඳු පොතු ආදියද දමා හොඳීන් කලවම් කරන්න. රස අනුව අවශ්‍ය නම් පමණක් නැවත විනාකිරි එක්කර කලවම් කර මැටි මුට්ටියක දමා හොඳීන් කට ගැටගසා තබන්න. දිනකින් හෝ ඊට පසුව සුදුසු බඳුනකට දමා කිරිබත් සමඟ කෑම මේසයට පිළිහන්වන්න.

---------------

 

සීනි සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

 

සිහින්ව කපාගත් බී ලූනු ග්‍රෑම් 500 ක්

උම්බලකඩ කුඩු ග්‍රෑම් 50 ක්

සියඹලා යුෂ තේ හැඳී 2 ක්

රස අනුව ලුණු

එනසල්, කරාබු නැටි 2-3 ක්

කුරුඳු කැබැල්ලක්

කරපිංචා ටිකක්

රම්පේ කැබැල්ලක්

කුඩා සේර කැබැල්ලක්

බැදගැනීමට ප්‍රමාණවත් තරම් තෙල්

සීනි මේස හැඳී 1 ක්

කෑලි මිරිස් තේ හැඳී 4 ක්

කහ කුඩු ස්වල්පයක්

සාදන ආකාරය

තෙල් භාජනයක් ළිප තබා රත් වනවිට සිහින්ව කපාගත් ලූනු ටික දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න. රම්පේ, කරපිංචා, සේර, එනසල්, කරාබු නැටි එයටම එක්කර විනාඩියක් පමණ ගිය පසු උම්බලකඩ කුඩු එක්කර හොඳීන් කලවම් කරන්න. ඉන්පසු අවශ්‍ය පදමට ලුණු , කෑලි මිරිස් , කහ කුඩු එක්කර හොඳීන් කලවම් කර එයටම සියඹලා යුෂ හා සීනි ද එක්කර විනාඩි 2 ක් පමණ මඳ ගින්නේ තබා ළිපෙන් ඉවත්කරගන්න. කිරිබත් සමඟ මේ සීනි සම්බෝලය වඩාත් රසවත් වේවි. කල් තබාගැනීමේ හැකියාවත් තිබෙන නිසා අපතේ යෑමක් නම් සිදුවන්නේම නැහැ.

 

 

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී

සර්වදර්ශනී අප්සරා