රාජාල මිශ්‍ර චිෆොන් කේක්

ජූලි 1, 2020

දේශීය අල වර්ගවලින් කේක් වර්ග සැකසීමට හැකිදැයි ඔබට කුතුහලයක් ඇති වන්නට ඇති.. එහෙත් මේ කෑම වට්ටෝරුව අනුව කේක් එකක් සකසා ගැනීමෙන් ඔබේ ඒ කුතුහලයට විසඳුම් ලැබෙනු ඇති.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

පාන් පිටි කෝප්ප 2 1/2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 2 1/2 ක්

ලුණු තේ හැන්දක්

වැනිලා තේ හැඳි 2 ක්

එළවළු තෙල් කෝප්ප 1/2 ක්

කිරි කෝප්ප 3/4 ක්

බිත්තර කහමද 8 ක්

සීනි කෝප්ප 1/2 ක්

තම්බා පොඩිකර ගත් රාජාල කෝප්ප 1/2 ක්

දම්පැහැ වර්ණකාරක

 

මිරෑන්ග් එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය,

බිත්තර සුදු මද 8 ක්

ක්‍රීම් ඔෆ් ටාටා තේ හැන්දක්

දැන් කේක් එක හදමු..

මුලින්ම පිටි, බේකිං පවුඩර් සහ ලුණු එකට මිශ්‍ර කරන්න.

තවත් බඳුනකට තෙල්, කිරි, වැනිලා දමා මිශ්‍ර කරන්න.

එම මිශ්‍රණ දෙක පසෙකින් තබා බිත්තර කහ මද බීට් කරන්න. බිත්තරවලට සීනි එකතු කරමින් මිශ්‍රණයේ පැහැය අඩුවන තෙක් (ළා කහ පැහැති වන තෙක්) බීට් කරන්න.

එයට පොඩිකර ගත් රාජාල ටික එක් කරමින් බීට් කරන්න. ඉන් පසුව එයට පිටි මිශ්‍රණය සහ තෙල් මිශ්‍රණය මාරුවෙන් මාරුවට ස්වල්පය බැගින් දමමින් එක් පැත්තකට පමණක් පෙරළුම් කරන්න.

දැන් මෙම මිශ්‍රණයට දම් පැහැ වර්ණකාරක ස්වල්පයක් මිශ්‍ර කරන්න.

මිරෑන්ග් එක සාදා ගැනීමට බිත්තර සුදු මදවලට ක්‍රීම් ඔෆ් ටාටා එක්කර වේගයෙන් බීට් කරන්න.

දැන් එයට සීනි එක් කරමින් මෘදු මිශ්‍රණයක් වන තෙක් බීට් කරගන්න.

සාදා ගත් මිරෑන්ග් එක කේක් පිටි මිශ්‍රණය සමඟ හොඳින් මිශ්‍ර කරන්න.

අඟල් අටක පමණ විශ්කම්භයෙන් යුතු කේක් තැටි දෙකකට තෙල් කඩදාසි දමා සකසා කේක් මිශ්‍රණය එයට දමන්න.

ඉන්පසුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ට දමා විනාඩි කිහිපයක් රත්කර ගත් (පී‍්‍ර හීට්) අවන් එකක විනාඩි 35-40 ක් පමණ වේලාවක් තබා බේක් කරගන්න.

ඉරටුවක් ගසා කේක් එකේ මැද බේක් වී ඇත්දැයි බලා කේක් එක අවන් එකෙන් පිටතට ගන්න.

බටර් අයිසිං, ක්‍රීම් චීස්,ෆ්‍රොස්ටින්, විපිං ක්‍රීම් සහ ස්විස් මිරෑන්ග්, බටර් ක්‍රීම් වැනි ඕනෑම අයිසිං වර්ගයක් භාවිතකර මෙම කේක් එක සරසා ගත හැකියි.

ඡායාරූපයේ දැක්වෙන කේක් එක සඳහා බටර් අයිසිං වලින් සැන්ඩ්විච් කිරීමක් පමණක් සිදුකර ඇත.

මෙම කේක් එක ඔබට විශාල වැඩි යැයි සිතෙනවා නම් දක්වා ඇති ප්‍රමාණවලින් භාගයක් පමණක් ගෙන වුවද ඔබට කේක් එක සකසා ගත හැකියි. ඡායාරූපයේ දැක්වෙන කේක් එක ද එසේ සැකසූ එකකි.

2020/07/01 තරුණි පුවත්පත බලන්න.