කාර්යබහුල ගෘහණියන්ට චරිතාගෙන් සෝයා ‘ඩෙවල්’ එකක්

අගෝස්තු 12, 2020

ප්‍රවීණ ගායන ශිල්පි විශාරද එඩ්වඩ් ජයකොඩිගේ බිරිය ‘චරිතා ප්‍රියදර්ශනී’ රසිකයන් අතරත් කලාකරුවන් අතරත් හරිම ජනප්‍රියයි.

ගිීත කැසට් පටයක් සඳහා ඇය එඩ්වඩ් ජයකොඩි සමඟ ‘පන්සලේ පල්ලියේ...’ ගීතය ගායනා කරමින් 1986 වර්ෂයේ ගායන ලෝකයට අක්මුල් තැවුවාය. නිවේදිකාවක් ලෙසින් චරිතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වූයේ 1982 වසරේදීය. 1983 වසරේදී ඇය ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙසින් එකතු වන්නීය. ලොතරැයි දිනුම් ඇදීමේ රූපවාහිනී වැඩසටහනක ඇය වසර 35 ට එහා ජනතා ආකර්ෂණය දිනාගනිමින් අදටත් කරගෙන යන්නීය. ‘සෙනෙහසේ නවාතැනේ...’, ‘අහස් ගැබේ...’ යන ගීත ඇය ගැයූ සියයකට ආසන්න ගීත ගොන්නෙන් ජනප්‍රිය ගීත යුගළයකි. අද අපි චරිතාගෙන් බලාපොරොත්තු වන්නේ වෙනස් විදියේ අත්දැකීමක් ගැන කතා කරන්නයි. චරිතාට රහට උයන්න පුළුවන්. අද ඇය තරුණී පාඨකයන්ට ඇගේ අතින් හැදෙන කෑමක් ගැන කියා දෙන්නයි මේ සූදානම.

චරිතා මොනවද අද ඔයා හදන්න යන්නේ...?

මේක ඉක්මණින්ම හදාගන්න පුළුවන් සෝයා ‘ඩෙවල්’ එකක්.

නිර්මාංස ආහාරයක්. තෝරා ගන්නා සෝයා වර්ගයේ විශේෂයක් තියෙනවද?

ඕනෑම සෝයා මීට් වර්ගයක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් හතු රසැති හෝ ඉස්සෝ එසැති සෝයා මීට් ගත්තොත් රසේ පොඩි ‘ගතියක්’ තියෙනවා.

හරි අපි එහෙනම් හදන හැටි බලමු.

මුලින්ම සෝයා මීට් ටික භාජනයකට දාලා ඒකට උණුවතුර කෝප්ප දෙකක් විතර දාලා විනාඩි 4 ක් විතර තම්බා ගන්නවා. තැම්බුණාට පස්සේ හොඳින් මිරිකලා වතුර බේරලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සෙ පෑන් එකක් ළිප තියලා ඒකට එළවළු තෙල් මේස හැඳි 3 ක් දාලා අඩු ගින්දරේ රත්වීගෙන එනකොට ඒකට කෑලි මිරිස් මේස හැඳි 2 ක් එකතු කරනවා. මිරිස් ටික පාටවීගෙන එනකොට ඒකට ‘චොප්’ කරගත්ත ඉඟුරු, සුදුලූනු එකතු කරනවා. ඊට පස්සෙ ඒකට සෝයා සෝස් මේස හැඳි 1 1/2 ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්, තක්කාලි සෝස් මේස හැදි 5 ක් එකතු කරලා හොඳට හැඳිගානවා.

තක්කාලි සෝස් වැඩිපුර දාන්නේ ඇයි?

ඒකෙන් තමයි මේ මාලුවේ රසය වැඩිපුරම එන්නේ. ඊට පස්සෙ කහකුඩු තේ හැඳි 1/2 ක්, ලුණු ටිකක්, සීනි තේ හැන්දක් දාලා සීනි කරවෙන්න නොදී අපි අර තම්බාගත්ත සෝයා මීට් ටික එකතු කරනවා. විනාඩි දෙකකින් විතර ළිප ධටට කරලා වෙනම පිඟානකට දා ගන්නවා.

හරිම ඉක්මණින් හදාගන්න පුළුවන් කෑමක් නේද? හොඳ සුවඳකුත් එනවා.

ඔව් ඔෆිස්වල කඩිමුඩියේ වැඩට යන අයට, ඉතාම කෙටි වේලාවකින් හදා ගන්න පුළුවන් රසවත් ව්‍යාංජනයක් මේක. අනික මෙහි විශේෂත්වය සතියක් විතර නරක් නොවී තියාගෙන ආහාරයට ගන්න පුළුවන් වීමයි.

සටහන සහ සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න