සැඳෑ සාදය රසගන්වන කටගැස්ම

අගෝස්තු 12, 2020

විවේකී දවසක පවුලේ හැමදෙනාම එකට එකතුවුණූු වෙලාවට කතාබහ කරන අතරේ කට ගැස්මක් තිබුණා නම් කියා සිතුණු වාර නම් කොතෙකුත් ඇද්ද?

ඒ වගේ වෙලාවට කඩෙන් ගේන රටකජු, මුරුක්කු, වඩේ වැනි දෙයක් තමයි බොහෝ වෙලාවට අපි ගන්නේ.

ඒත් ඒ වගේ දෙයක පිරිසුදුබව, සෞඛ්‍යාරක්ෂිත බව, මෙන්ම රසකාරක වලින්, අහිතකර වර්ණක වලින් තොර බව ගැන අපට විශ්වාසයක් තබන්න බැහැ. මේ නිසා පවුලේ අයට මේ වගේ කටගැස්මක් ගෙදරම හදාදෙන එක ගෘහණියක ලෙස ඔබේ වගකීමක්. ඔබ පුංචි දරුවන් සිටින මවක නම් මේ වගකීම ගැන විශේෂයෙන් සිතිය යුතුයි.

ඒ වගේම පවුලේ හිතවතුන්, ඥාතීන් එකතුවන පුංචි සාදයකදී වුවත් අතිශයින් ප්‍රයෝජනවත් කට ගැස්ම කිහිපයක් වෙනුවෙන් අද 'රසාර' අතිරේකය වෙන් වෙනවා.

 

උපදෙස්:- ප්‍රවීණ සූපවේදී

සකුන්තලා කරුණාරත්න

වෝ කේටර්ස් රුවන්වැල්ල

 

හැඬැල්ලන් හොට් බටර් ක්‍රමයට

අවශ්‍ය ද්‍රව්‍ය

හැඬැල්ලන් ග්‍රෑම් 500 ක්

ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ

රස පදමට

බිත්තර 2 ක්

කෝන් පිටි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 100 ක්

ඇට ඉවත් කර ගත් මාළු මිරිස් ග්‍රෑම් 200 ක්

සිහින්ව දිග අතට කපාගත් ලූනු කොළ ග්‍රෑම් 200 ක්

සිහින්ව දිග අතට කපාගත් වියළි මිරිස් කරල් 4 - 5 ක්

චිලි පේස්ට් මේස හැඳි

4 - 5 ක් තෙල් අවශ්‍ය ප්‍රමාණයට

 

සාදන ක්‍රමය

පළමුව හොඳින් සෝදා පිරිසුදු කරගත් හැඬැල්ලන් මතට ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ එක්කර පදම් කරගන්න.

දැන් එයටම බිත්තර දෙක ද දමා හොඳින් මිශ්‍ර කර කෝන් පිටිවල දවටාගත් පසු පිටි ගසාගෙන හොඳින් රත්වූ තෙල්වල බහා රන්වන් පැහැයට ක්‍රිස්පි ලෙසට බැදගන්න.

ඉන්පසු නැවත වෙනත් භාජනයක් ළිප තබා බටර් ටික දමා සාමාන්‍ය තරමට රත්වන විට මෙයට කපාගත් වියළි මිරිස් සහ කපාගත් එළවළු කැබලිවලින් අඩක් දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.

අවසානයේ මෙයට චිලි පේස්ට් සහ බැදගත් හැඬැල්ලන් එක්කර ප්‍රවේශමෙන් මිශ්‍ර කර ඉතිරිව ඇති එළවළු සමඟ අවශ්‍ය නම් ලුණු කුඩු ස්වල්පයක් ද ඉස ගෙන උණුසුම්ව පිළිගන්වන්න.

2020/08/12 තරුණි පුවත්පත බලන්න