උපදෙස් පැතූ ඔබටයි මේ විසඳුම්....

කාලයට ගැළපෙන්න පිරිමසා ගෙන උයන්න
නොවැම්බර් 4, 2020

නැවතත් මේ උදාවී ඇත්තේ අවදානම් කාලයකි. මේ නිසාම නිතර නිතර ගෙදරින් එළියට යාම අවදානම් ය. මේ කාලයේ "අරවා නැහැ, මේවා නැහැ" කියමින් මැසිවිලි නොනගා තියෙන දෙයක් තියෙන හැටියකට උයාගන්න කාන්තා ඔබ දැනුවත් විය යුතුමයි.

අඩු පාඩු සහිත මේ දිනවල ආරක්ෂාව වැදගත් නිසා පිරිමසාගෙන උයන්නයි මේ පැහැදිලි කිරීම.

ගෙදර ගෘහණිය කියන්නේ ගෙදර සිරිකත, ගෙදර දියුණුවට හැමදේටම මුල් වෙන්නේ ගෘහණිය. ඉතින් ලෝකෙටම බලපාල තියෙන මේ ගෝලීය වසංගතය හමුවේ අපි බොහොම අර පිරිමැස්මෙන් යුතුව වැඩ කරගෙන දවස ගත කරන්න ඕනේ. කෑම බිම වුණත් වෙනදා වගේ ගොඩක් හදලා අහක දාන්නේ නැතුව අවශ්‍ය පමණට හදාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හැමදාමත් ගෙදර සාමාජිකයන්ට හාල් තබන ප්‍රමාණය දන්නවා නම් ඒ ප්‍රමාණයෙනුත් ඉතුරු වී අහක දානවා නම් ඒ දේ කරන්න එපා. ඔබට පුළුවන් ඒ ඉතුරු බත් රෑට දිය දාලා උදේට දියබත් හදන්න. එහෙම නැත්නම් ඉතුරු බත්වලින් පහුවදා උදේට, එහෙමත් නැත්නම් රෑට තෝසේ ටිකක් හදාගන්න. හවසට හැමදාම තේ බොන වෙලාවට රස කැවිල්ලක්, බිස්කට් එකක් කන්න පුරුදුවෙලා ඉන්නවා නම් ඒ දේවල්වලට මුදල් වැය කරන්නේ නැතුව හවසට කන්න අග්ගලා ටිකක් හදාගන්න මේ ඉතුරුවෙන බත් වේළලා කුඩු කර බෝතලයකට දාලා තියාගන්නත් පුළුවන්.

ඒ වගේම තව වැඩිපුර කොස්, දෙල් හොයාගන්න පුළුවන් නම් අටු දෙල් සහ අටු කොස් හදලා තියාගන්න. එතකොට එක වේලකට කිරි කොස් ටිකක්, කොස් මැල්ලුමක්, දෙල් මැල්ලුමක් හදාගන්න පුළුවන්. පලා වර්ග ගෙදරට ගෙනාවම මුකුණු වැන්නා, ගොටුකොළ, කංකුන් එහෙම දඬු කඩලා, ගොටුකොළ මුල් කඩලා විසි කරන්න එපා. ඒවා පෝච්චියක හරි හිටවන්න. නිතරම පලා වර්ග කඩෙන් ගෙනෙන එක අඩු කරලා පලා මිටක් ඔයාලට එක වේලකට සෑහෙන්න හදාගන්න පුළුවන්.

තව දෙයක් තමයි මේ වගේ වෙලාවක එළවළු හිඟයක් ආවම එළවළුවල මිල ඉහළ යනවා. එතකොට දරාගන්න අමාරුයි. එළවළු මිල අඩුවට ගන්න පුළුවන් අවස්ථාවක ඔබට පුළුවන්, අච්චාරු, චට්නි, බැදුම් වර්ග හදලා තියාගන්න. පොලොස් කපලා ගොරකා, කහ සමඟින් තම්බලා අධි ශීතකරණයේ තියාගෙන තවත් වේල් කිහිපයකට හදාගන්න පුළුවන්.

ඒ වගේම ගස්ලබු අච්චාරු, මැල්ලුම්, අමු ගස්ලබු මාළුවක් වගේ ව්‍යාංජන ගෙදර වත්තෙන්ම කෑමට එකතු කරගන්න පුළුවන්. මේ කොයි දේ එක්කත් ව්‍යාංජන රස කරගන්න අපේ ගෘහණියෝ එකතු කරගන්න අමු මිරිස්, කරපිංචා, රම්පෙ, සේර ගහට පවා ලොකු මුදලක් වැය කරනවා, ඒ හැමදේම පෝච්චියක වුණත් වවාගන්න පුළුවන්.

 

උපදෙස් ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

2020/11/04 තරුණි බලන්න