ප්‍රතිශක්තිය වඩන පාන වර්ග

නොවැම්බර් 11, 2020

කොරෝනා නිසා අප නිතරම ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන පිරිසක් ලෙස සිටිය යුතුයි. ඒ සඳහා අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගත යුතු වේ. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න නම් අපි ගන්නා අහාර හා පාන වර්ග ගැන විශේෂ සැලකිල්ලක් දක්වමින් ප්‍රතිශත්කිය වඩවන ආහාර රටාවකට හුරු විය යුතු වෙමු. ඒ සඳහා අපට සරලව සකසා ගෙන දිනපතා පානය කළ හැකි පාන වර්ග කිහිපයක් මෙලෙසින් ගෙන එනවා.

කැරට් යුෂ පානය

විටමින් A සහ විටමින් C අඩංගු එළවළුවක් වන කැරට් ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන එළවළුවකි.

අවශ්‍ය ද්‍රව්‍ය

තද පැහැති කැරට් අල දෙකක්

දෙහි බිංදු කීපයක්

වතුර කෝප්ප භාගයක්

සාදන ආකාරය

තද පැහැති කැරට් අල දෙක ගෙන හොඳීන් සෝදා පිරිසුදු කරගන්න.

දැන් බ්ලෙන්ඩරයට සිහින්ව කපාගත් කැරට් අල දමා එයට වතුර කෝප්ප භාගයක් ද දමා බ්ලෙන්ඩ්කර කැරට් ඉස්ම ගෙන වීදුරුවකට පෙරා ගන්න.

එයට දෙහි බිංදු කීපයක් දමා කලවම් කර පානයට ගන්න.

***********************

හතු සුප් පානය

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ලියාගත් හතු අඬු කෝප්ප දෙකක්

සිහින්ව ලියාගත් රතු ලූනු ගෙඩියක්

සිහින්ව ලියා ගත් සුදුලූනු බික් හතරක්

පොල් කිරි මිලිලීටර් සීයක්

සිහින්ව ලියාගත් පාස්ලි කොළ අහුරක්

ලුණු සහ ගම්මිරිස් රස අනුව

පොල් තෙල් මේස හැන්දක්

සාදන ක්‍රමය

පළමුව සෝස් පෑන් එකක් ළිප තබා එයට තෙල් මේස හැන්දක් දමා ලූනු, සුදුලූනු සහ හතු එක්කර මඳ ගින්නේ විනාඩි දහයක් පමණ පිසගන්න. ඉන්පසු එය ස්වල්ප වේලාවක් නිවෙන්නට තබා බ්ලෙන්ඩරයට දමා උකු ද්‍රාවණයක් වනතෙක් බ්ලෙන්ඩ්ර් කරගන්න.

පසුව මෙය නැවතත් සෝස් පෑන් එකට දමා එයට කිරි මිලිලීටර් 100 එකතු කරගන්න.

මෙය ද මඳ ගින්නේ විනාඩි දහයක් පමණ පිසගන්න. ඉන්පසු රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතුකර අවසානයේ පාස්ලි කොළ එකතු කරගන්න.

 

ඉදිරිපත් කිරීම පෝෂණෙවිදී

අචලා සුරංගි බණ්ඩාර

 

2020/11/11 තරුණි පුවත්පත බලන්න.