මීට පෙර රස විඳ නැති කඩල පරිප්පු තෝසේ

නොවැම්බර් 18, 2020

මේ දිනවල වැඩි වශයෙන් නිවෙසේම රැඳෙන්නට වීම බොහෝ දෙනකුට කිසියම් අපහසුවක් ඇතිවීම පුදුමයක් නොවෙයි.

එකම ආකාරයේ කෑම බීම, අවශ්‍ය ද්‍රව්‍ය නැති වීම නිසා ආහාර වර්ග හැදීමට අපහසු වීම ගෘහණියන්ගේ ගැටලු බවට පත්වෙලා. වෙනසකට තෝසෙ හදන ඔබට ඒ සඳහා කඩල පරිප්පු යොදාගත හැකියි.

මේ සඳහා අවශ්‍ය වන්නේ,

කඩල පරිප්පු

බී ලූනු කුඩා ගෙඩියක්

අමු මිරිස් කරල් 2-3ක්

අබ ඇට ස්වල්පයක්

රතු ලූනු ගෙඩි කිහිපයක්

කරපිංචා

ලුණු ස්වල්පයක්

දැන් අපි තෝසෙ හදමු,

කඩල පරිප්පු පැය 7-8ක් පෙඟෙන්නට තබන්න. ඉන්පසුව පරිප්පුවල වතුර පෙරාගන්න. පරිප්පු, බීලුනු ගෙඩිය හා අමු මිරිස් කරල් බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කරන්න. මෙම මිශ්‍රණය බඳුනකට දමා ගන්න.

දැන් සාස්පානක් ළිප තබා එයට තෙල් මේස හැඳී දෙකක් පමණ දමන්න. තෙල් හොඳීන් රත්වුණ පසුව අබ ඇට ස්වල්පයක්, රතු ලූනු, කරපිංචා ස්වල්පයක් දමා රන්වන් පැහැ වනතෙක් හොඳීන් බැදගන්න. මෙය මඳක් නිවුණු පසුව කලින් අඹරාගත් පරිප්පු මිශ්‍රණය සමඟ හොඳීන් කලවම් කරන්න.

දැන් මෙම මිශ්‍රණයෙන් සාමාන්‍යයෙන් තෝසේ සාදා ගන්නා ආකාරයට තෝසේ සාදා ගන්න. මෙම මිශ්‍රණයෙන් වැඩි රසයෙන් හා පෝෂණ ගුණයෙන් ද පිරි තෝසේ සාදා ගත හැකියි.

 

ඉදිරිපත් කිරීම: එස්.එච්. ලීලා