නත්තලට රසැති කේක්

දෙසැම්බර් 9, 2020

සාමයේ පණිවිඩය ලොවට කියාදෙන අසිරිමත් නත්තල උදා වන්නට තවත් ඇත්තේ සති කීපයක් පමණයි. වෙනත් වසරවල දී මෙන් නෑ හිත මිතුරන් පිරිවරා එය සමරන්නට මේ වසරේ දී හැකියාවක් නොලැබුණත් පවුලේ අය සමඟ රිසි සේ සමරන්නට ඔබට අවස්ථාව තිබෙනවා.

ඒ වෙනුවෙන් අප මෙවර තරුණී වෙතින් චොකලට් ස්විස් රෝල්වලින් සෑදූ යූ ලොග් කේක් එකක් සහ ස්ට්‍රෝබෙරි චීස් කේක් එකක් සාදාගන්නා ආකාරය ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම. මේ කේක් වර්ග දෙකේම රස බලන්න බොහෝ දෙනෙක් කැමැති වේවි.

 

යූ ලොග්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

බිත්තර පහක්

සීනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 250 ක්

වැනිලා හෝ හෝ චොකලට්

එසන්ස් මේස හැන්දක්

කොකෝ පවුඩර් මේස හැඳී තුනක්

චොකලට් චිප්ස් ග්‍රෑම් 100 ක්

බේකිං පවුඩර් මේස හැඳී දෙකක්

 

අයිසිං කිරීමට

බටර් ග්‍රෑම් 200 ක්

අයිසිං සීනි ග්‍රෑම් 400 ක්

වැනිලා තේ හැන්දක්

කොකෝ පවුඩර් මේස හැඳී දෙකක්

 

සාදන ක්‍රමය

පළමුව සීනි සහ බිත්තර බඳුනකට දමා හොඳීන් බීට් කරන්න. ඉන්පසු පිටි බේකිං පවුඩර් සහ චොකලට් පවුඩර් මිශ්‍ර කර හොඳීන් හලාගන්න.

දැන් ඉහත බීට් කරගත් සීනි මිශ්‍රණයට හලාගත් පිටි එකතු කර කලවම් කරන්න.

වැනිලා හෝ චොකලට එසන්ස් ද එක් කරන්න.

ස්විස් රෝල් ට්‍රේ එකක් ගෙන ඒ මත බටර් තවරා එයට ඉහත මිශ්‍රණය දමා ගන්න.

ඉන්පසු සෙල්සියස් අංශක 175-180 අතර උෂ්ණත්වයෙන් යුතුව විනාඩි දහයක් පමණ අවන් එක රත් කර පසුව කේක් මිශ්‍රණය සහිත ට්‍රේ එක දමා නැවතත් විනාඩි 20ත් 25ත් අතර කාලයක් බේක් කරගන්න. ඉන්පසු කේක් එක ඉවතට ගෙන නිවෙන්නට තබන්න.

දැන් අයිසිං එක සාදාගත යුතුය. ඒ සඳහා ඉහත ප්‍රමාණවලින් බටර්, අයිසිං සීනි, වැනිලා සහ කොකෝ පවුඩර් බඳුනකට දමා හොඳීන් බීට් කරන්න. පසුව මඳ රස්නෙන් යුතු කේක් එක ගෙන ඔයිල් පේපර් එකක් මතට දමා ඒ මත අයිසිං තවරන්න. දැන් කේක් එක රෝල් කර ගන්න. එහි දෙපසින් තරමක් තද කර ශීතකරණයක තබන්න. මඳ වේලාවකට පසු නැවතත් එළියට ගෙන කෑලි කපා යූ ලොග් හැඩයට සකසාගන්න. ඒ මත කලින් සාදා ගත් අයිසිං ස්වල්පයක් තවරා ටූත් පික් එකකින් හෝ ගෑරුප්පුවකින් ඉරි ඇඳ ගන්න.

උඩින් චොකලට් චිප්ස් ස්වල්පයක් ඉසින්න. වෙළෙඳපොළෙන් ගත් අයිවි කොළ සහිත ඉති කීපයක් තබා කේක් එක සරසා ගන්න .

 

---------------------

ස්ට්‍රෝබෙරි චීස් කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

නයිස් බිස්කට් ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 100 ක්

වැනිලා තේ හැන්දක්

ක්‍රීම් චීස් ග්‍රෑම් 600 ක්

අයිසිං සීනි ග්‍රෑම් 100 ක්

ඩබල් ක්‍රීම් මිලිලීටර් 200 ක්

 

සැරසීමට

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 400 පැකට් එකක්

අයිසිං සීනි ග්‍රෑම් 25 ක්

වතුර මේස හැඳී 4 ක්

 

සාදන ක්‍රමය

පළමුව සාස්පානක් ගෙන එයට බටර් දමා ළිපේ තබා උණු කරන්න. ඉන්පසු බිස්කට් ටික ගෙන බෑගයකට දමා රෝලිං පින් එකකින් කුඩු කරන්න. ඉන්පසු චීස් කේක් ට්‍රේ එක (නැතිනම් බෝල් එකක්) ගෙන එයට කුඩුකර ගත් බිස්කට් ටික දමා උඩින් දියකර ගත් බටර් දමා ගන්න.

දැන් බිස්කට් ටික හොඳීන් තද කර විනාඩි විස්සක් පමණ ශීතකරණයේ තබන්න. පසුව ක්‍රීම් චීස් සහ අයිසිං සීනි බඳුනකට දමා බීට් කරන්න. වැනිලා ද එයට එකතු කරන්න.

පසුව ඩබල් ක්‍රීම් එක ද එයටම මිශ්‍රකර නැවතත් බීට් කරන්න. දැන් බිස්කට් මිශ්‍රණය ශීතකරණයෙන් ඉවතට ගෙන ක්‍රීම් එක දමා බීට් කරන්න. මෙය එක් රැයක් ශීතකරණයේ තබන්න.

දැන් ස්ට්‍රෝබෙරි පැකට් එක ගෙන එයට අයිසිං සීනි සහ වතුර මිශ්‍රකර කෑලි තිබෙන ලෙස බ්ලෙන්ඩර් කරගන්න.

එය බිස්කට් සහිත බෝල් එක උඩට වත්කරන්න. දැන් මේ ස්ටෙ‍්‍රීබෙරි චීස් කේක් එක රස බැලිය හැකියි.

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ඔරෙන්සි සිරිවර්ධන

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න